පාර්ලිමේන්තුවේදී අසාධාරණ ලෙස විවේචනය කළැයි අභියාචනාධිකරණ සභාපති හා විනිසුරු ක්‍රීඩා ඇමතිගේ නඩුවලින් ඉවත් වෙති

1005

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා නව අතුරු පාලක මඬුල්ලක් පත් කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අදාළ නඩු කටයුතු විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා හා අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඊයේ (14 දා) ඉවත් වූහ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ එකී ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් පසුගිය 6 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබූ අතර එම අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස විරෝධතා ගොනු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි. ක්‍රීඩා අමාත්‍යවරයා පෙරේදා (13 දා) ගොනු කර තිබූ එම මෝසම් පත්‍රය අනුව එම නඩුව ඊයේ (14 දා) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා විකුම් කළුආරච්චි යන මහත්වරුන් හමුවේ කැඳවිණි.

තම අධිකරණය විසින් ඉදිරිපත් වූ කරුණු සලකා නිකුත් කළ එම අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා හා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉතා අසාධාරණ ලෙස තමන් ඇතුළු විනිසුරු මඬුල්ල දැඩි ලෙස විවේචනය කරමින් කරුණු දක්වා ඇති බැවින් තමන් තවදුරටත් එම නඩුව සලකා බැලීමක් සිදු නොකරන බව සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පැවසීය. ඒ අනුව එම නඩුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් හමුවට යොමු කිරීමට සභාපති විනිසුරුවරයා නියෝග කළ අතර එම විනිසුරු මඬුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී සාමාජික විනිසුරු ධම්මික ගනේපොල මහතා ද එම නඩු කටයුත්ත සලකා බැලීමට අකමැති බැවින් යළි සභාපති විනිසුරුවරයා හමුවේම නඩුව කැඳවන ලෙසට සෝභිත රාජකරුණා විනිසුරුවරයා නියෝග කළේය.

දෙවන වරටත් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ප්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී එකී නඩු කටයුතු පෙර නියම කර ඇති දිනයේ එනම් ලබන 16 වැනිදා ඩී. එම්. සමරකෝන් හා නීල් ඉද්දවෙල යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවීමට සභාපති විනිසුරුවරයා නියෝග කළේය.

එම පෙත්සම්වල දෙවන වගඋත්තරකරු ලෙස නම් කොට තිබූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙන්ම නව අතුරු පාලක මණ්ඩලය, පෙත්සම්කරුවන් ඇතුළු පාර්ශ්ව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කේ. කනගඊශ්වරන්, සාලිය පීරිස්, චන්දක ජයසුන්දර සහ ජනාධිපති නීතිඥවරුන් ද එකඟතාව ඇතිව එලෙස නඩුව ලබන 16 වැනිදා දක්වා කල් තැබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment