පාර්ලිමේන්තුවේදී දිගහැරුණු ‘ඖෂධ මාෆියාව’

310

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී ඔහුට ඇති වරප‍්‍රසාද අනුව 27/2 යටතේ කාලීන මාතෘකා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් නිතර ප‍්‍රශ්න විමසීම සිදු කරනු ලබයි. බොහෝවිට විපක්ෂනායකවරයා සතියකට තුන හතරක් එවැනි ප‍්‍රශ්න විමසයි.

හෙතෙම පසුගිය අඟහරුවාදා දින එලෙස විමසා තිබූ ප‍්‍රශ්නය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යෑම සම්බන්ධයෙන් ප‍්‍රශ්නයකි. එම සිද්ධිය පිළිබඳ ප‍්‍රවෘත්ති ඊට සතියකට දෙකකට කලින් ජාතික පුවත්පත් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති කර ගනු ලැබූ රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියකි.

ඉතාම සද්භාවයෙන් විපක්ෂනායකවරයා එලෙස 27/2 යටතේ සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් විමසා තිබූ ප‍්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දීමට කි‍්‍රයා කළේ ඖෂධ නියාමන සහ සැපයුම් රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතාය.

සාමාන්‍යයෙන් මෙරට නීති සම්පාදනය කෙරෙන උත්තරීතර පාර්ලිමේන්තුව තුළ යම් මන්තී‍්‍රවරයකු හෝ ඇමැතිවරයකු ඉතා වගකීමෙන් සත්‍ය කරුණු හෙළි කළ යුතු වේ. එබැවින් අදාළ දත්ත පද්ධතිය තුළ තිබූ දත්ත මැකී යාම් පිළිබඳව එදින රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ගෙනහැර දැක්වූ සහ සභාගත කරන ලද සියලූ කරුණු සත්‍යය යැයි අපට සිතන්නට සිදු වේ.

සජිත් පේ‍්‍රමදාස මහතා විද්දේ පැඳුරට වුව ද එහිදී වැදී තිබුණේ හාවාටය. හාවාට අමතරව තවත් හාවුන් කිහිප දෙනකුටම එහිදී පහර වැදී තිබුණු බව නම් මනාව දක්නට ලැබිණි. මෙරට එදා මෙදාතුර සිදුවන ඖෂධ මාෆියාවත්, එකී මාෆියාව ජයටම කරගෙන යෑමට ඉඩ දෙන රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින්ද ඒ අතර වේ. කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිවරයා එදින කියා සිටියේ දත්ත පද්ධතිය මැකීගොස් නොව උවමනාවෙන්ම මකා ඇති බවය. 2015-2019 තුළ එනම් යහපාලන සමයේදී කි‍්‍රයාත්මක වූ ඖෂධ ඉහළ මිලට මිලදී ගැනීම් සම්බන්ධයෙන් වූ තොරතුරු මකා ඇති බවය.

ප‍්‍රශ්නයට පාදක වූ දත්ත පද්ධතිය හෙවත් ජාතික නියාමන ඖෂධ අධිකාරියේ e-NMRA දත්ත පද්ධතිය පිහිටුවීමට අදාළව ගිවිසුම අත්සන් කර ඇත්තේ 2018 ජූලි 25 වැනිදාය. ඒ ICTA නම් රාජ්‍ය ආයතනය සමගිනි. එම පද්ධතිය සැකසීම හා පවත්වාගෙන යෑමට එපික් ලංකා නමැති පුද්ගලික ආයතනයකට පවරා දී ඇත්තේ එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන ලද මහාචාර්ය අසිත ද සිල්වා මහතා විසිනි. මෙරටට ගෙනෙන සහ අවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම හිඟ ඖෂධ මොනවාදැයි යන්න එමගින් මනා ලෙස අවබෝධයක් ලබා ගැනීමට එමගින් හැකියාව ඇත.

කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව සමයේ ස්ථාපිත කෙරුණු අදාළ දත්ත පද්ධතිය හදිසියේම පසුගිය ජූලි මස 10 වන දින සිට ගැටලූකාරී තත්ත්වයක් ඇති වී තිබේ. ඊට හේතුව වී තිබුණේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට භාරදී තිබූ එපික් ලංකා සමාගමේ වගකීම් විරහිත කි‍්‍රයාපාටිපාටිය හේතුවෙනි. මේ සම්බන්ධයෙන් ඒ වනවිට ජාතික පුවත්පත් පොල්ගෙඩි අකුරින් මෙම පද්ධතිය අකර්මණ්‍යවීම රටට හෙළි කර තිබිණි. ඒ අතරතුර එපික් ලංකා සමාගම නැවත දත්ත පද්ධතිය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට කටයුතු කළද උසාවි නියෝගයකින් එම කි‍්‍රයාවලිය අත්හිටුවනු ලැබීය.

මෙහිදී අදාළ දත්ත පද්ධතිය බිඳ වැටීම සිදු වූ විට එපික් ලංකා සමාගමට කළ යුතුව තිබුණේ ගිවිසුම් ප‍්‍රකාරව ගබඩා කර තිබිය යුතු වූ බැකප් දත්ත නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීමය. එහෙත් එපික් ලංකා සමාගම ගිවිසුමේ අඩංගු ආකාරයට කි‍්‍රයා නොකරමින් එම බැකප් දත්ත නිසි පරිදි නඩත්තු කිරීමට කටයුතු කිරීම දැඩි ගැටලූකාරීය.

රාජ්‍ය තොරතුරු පද්ධති නිසි පරිදි අනාරක්ෂිතව ගබඩා කිරීම සම්බන්ධයෙන් ICTA ආයතනය (රාජ්‍ය) ක්ලවුඩ් පහසුකම් ලබාදී ඇති බැවින් එලෙස කිසිම අනතුරක් අදාළ දත්ත පද්ධතියට සිදුවිය නොහැකි යැයි සඳහන් කිරීම එම ගැටලූකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු වටිනා දත්ත එපික් ලංකා සමාගම සුරැකීමට වසර පහක් දක්වා ගිවිසුම්ගතව සිටියදී එලෙස එපික් ආයතනය ගිවිසුම්වලට පටහැනිව ආරක්ෂකාරී ලෙස කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට එම විනාශ වූ දත්ත යළි ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට වෝහාරික පරිගණක කි‍්‍රයාවලියක් සිදු කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. කෙසේ වෙතත් රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී කළ අනාවරණය පරිදි අදාළ දත්ත ගබඩාවෙන් මැකී ගොස් ඇත්තේ 2015-2019 යහපාලන සමයේදී ගෙන්වූ ඖෂධ 35ක් පිළිබඳ තොරතුරුය. ඒවා මැකී යෑමට හේතු වී ඇත්තේ ඉතා අඩු මිලට ගත හැකිව තිබුණත් එවකට පාලනය විසින් වැඩි මිලක් ලබා ගැනීම නිසා යැයි ද හෙතෙම චෝදනා කළේය.

ඒ අනුව ඖෂධ වර්ග 35ක සටහනක් මෙන්ම මිල ගණන් සහ ඒවා වැඩි මිලට ලබාගත් ආකාරය හෙළි වන පරිදි ඇමැතිවරයා අනාවරණය කළේය. එම අනාවරණයට අනුව ගත හැකිව තිබූ මිල ගණන්වලට වඩා කිහිප ගුණයකින්ම වැඩි කර මිල ගණන් උස්සා මිලදී ගැනීම හේතුවෙන් රජයට එම ඖෂධ 35න් පමණක් රුපියල් බිලියන ගණනක් වංචා වී තිබේ. මෙම වංචාව පිළිබඳ මේ මොහොතේ කරුණු හෙළි කිරීම පිළිබඳව චන්න ජයසුමනට මෙන්ම විපක්ෂනායක සජිත්ටද ස්තුතිය හිමිවිය යුතුය. එහෙත් චන්න ජයසුමන මහතා කියන විදිහට එහි වගකීම යනුයේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ පක්ෂය නියෝජනයකළ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට වීම බරපතළය.

චන්න ජයසුමන මහතා එදා පාර්ලිමේන්තුවේ කී ප‍්‍රකාශය මෙහිදී නැවත කියවීම වටී. එය මේ ආකාරය.

ඇත්තටම දැන් ගොඩදෙනෙක් අහනව NMRA පද්ධතියක් තිබෙද්දී ඇයි කියල කොවිඩ් 19 වසංගත තත්ත්වයට අදාළ වන ඖෂධ සහ වෛද්‍ය උපකරණ මේ පද්ධතිය හරහා ගියේ නැත්තේ, ඒකට හේතුව තමයි විපක්ෂ නායකතුමනි, මේ පද්ධතිය පටන්ගත්ත දවසේ සිටම මේක අබ්බගාත පද්ධතියක්, අසංවිධානාත්මක ක‍්‍රමානුකූල බවක් නැති ප‍්‍රතිඵලදායක නැති පද්ධතියක්. මම අමාත්‍ය ධුරය භාරගත්තට පස්සේ පළවෙනි සති දෙකේදිම මෙම සියලූම පාර්ශ්වකරුවන්, ව්‍යාපාරිකයන් ඒ වගේම ඖෂධ ආනයනයකරුවන් ෆාමසි ඔසුසැල් හිමියන්, සියලූදෙනා ඇවිත් කියු දේ තමයි මේ NMRA පද්ධතියේ ෆේලියර් එකක් මේකෙ වැඩ කරන්න බෑ කියලා. ඒ අනුව ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ එවකට හිටිය අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවලා මම කිවුවා මේක ක‍්‍රමානුකූල කරන්න කියලා. මට ලිඛිතව වෛද්‍ය කමල් ජයසිංහ CEO ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2020/09/07 ලිපියක් භාර දුන්නා මේ ඇතිවෙලා තියෙන ප‍්‍රමාදයන්, මේ තියෙන ක‍්‍රමානුකූල නැති බව වහාම නිවැරදි කරන්න කටයුතු යොදනවා කියල. ඔවුන් මට දින වකවානු සහිතව ලිපියකින් දැනුම් දුන්නා නිල වශයෙන් මේ කටයුත්ත කරනවා කියල. (annex.4). හැබැයි එහෙම කිව්වට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටිය අධ්‍යක්ෂ මණ්ඩලය ඒ කටයුත්ත සිදුකරේ නෑ විපක්ෂ නායකතුමනි,

ඒක නිසා මම නැවතත් 2020/10/20 එවකට සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මැතිතුමාට, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට වගේම සියලූම අධ්‍යක්ෂ මණ්ඩලයට නැවතත් ලිපියක් යොමු කරනවා. මම කැමැතියි කථානායකතුමනි, ඒක පැහැදිලි කරන්න (annex.5) මේක මම ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ තමයි එවකට සභාපතිවරයා ඇතුළු සියලූම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට දැනුම් දුන්නේ. හැබැයි ඒ කිව්වත් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයම සමත් වුණේ නැහැ එය නිවැරදි කිරීම සඳහා. ඒක නිසා තමයි කියන දේවල් කරන්නෙ නැති නිසා, අකාර්යක්ෂම නිසා තමයි NMRA එකේ බෝඩ් එක අපිට ඉවත් කරන්න සිද්ධ වුණේ. නව කණ්ඩායමක් පත් කරන්න සිදු වුනේ. මේ NMRA පද්ධතියේ තියන අකාර්යක්ෂම බව නිසා තමයි කොවිඩ් 19 රෝගයට අදාළ සියලූම ඩොකියුමන්ට් මේ සිස්ටම් එකට දාන්නේ නැතුව මැනුවලි ගෙනල්ල භාර දෙන්න කිව්වේ. කොටින්ම මේ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක් වුනාට ඒක හරහා යනවට වැඩිය ඉක්මනට කරන්න පුළුවන් අතින් ෆයිල් ටික හාර්ඩ් කොපි එක ගෙනල්ල දුන්නට පස්සේ. ඒක නිසා තමයි අතින් ගෙනල්ල භාරදෙන්න කියල ඉවර වෙලා කිව්වේ කොවිඩ් 19 රෝගයට අදාළ දේවල්.

එතකොට මේ මැකිල ගිය දත්ත ඇතුලේ මොනවාද තිබුනේ කියන එක ගැන මම කෙටියෙන් පැහැදිලි කරලා මගේ පිළිතුර නිමා කරනවා. විශේෂයෙන්ම 2015 – 2019 කාලයේදී ඖෂධ මිලදී ගැනීමේදී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිලක් රජය වියදම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඖෂධ මොනවාද කියලා ලැයිස්තුගත කරලා ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ වාගේම තමයි අපි මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා.

මේ ඒ වගේ ඖෂධ කිහිපයක් ගරු කතානායකතුමනි, Captopril 5mg Syrup එක 2019 දි මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 55,185.00 කට අපි ආවට පස්සේ 2020 අවුරුද්දේදී රුපියල් 395.00කට ගරු කථානායකතුමනි, 138 වතාවක් මිල ඉහළයි.
Lorazepam ඉංජෙක්ෂන් එක රුපියල් 17,957.00කට මිලදී අරගෙන තියෙන්නේ, අපි ආවට පස්සේ රුපියල් 373.00කට මිලදී ගත්තේ කථානායකතුමනි Metaraminol ඉංජෙක්ෂන් එක රුපියල් 16,736.00කට මිලදී ගත්තේ ඒක රුපියල් 3,875.00කට අඩු වුණා. මේ සියලූ ලැයිස්තුව මේ මිල අධික අපි විමර්ශනය සඳහා භාරදීල තියන මිල අධික ඖෂධ 35ක ලැයිස්තුව මම සභාගත කරනවා (annex.7) කථානායකතුමනි, ඒ වගේම තමයි හදිසි මිලදී ගැනීම් ලෙස හුවා දක්වමින් රුපියල් මිලියන 1140 කට ආසන්න ප‍්‍රමාණයක වටිනාකමින් යුතු ඖෂධ මිලදී අරන් තියනවා. අසාමාන්‍ය වියදමක් වියදම් කරලා. ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා, ඉල්ලීමක් කරා, අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කෙරෙනවා. උදාහරණයක් කියනවා නම් Rituximab ඉංජෙක්ෂන් එක රුපියල් 55,000.00කට අරන් තියෙන්නේ හැබැයි අපි ඒක රුපියල් 17,735.00කට ගත්තා.

එමගින් ඉතිරිවුණ මුදල පමණක් රුපියල් මිලියන 128ක් වෙනවා. මේ ආකාරයේ මේ ඖෂධ ලැයිස්තුව මම මේ සභාවට සභාගත කරන්න කැමැතියි කථානායකතුමනි, ඒ වගේම තමයි මේ ඇතැම් ඖෂධ මම කියන්නම් කොයි වගේ දෙයක් ද කරල තියෙන්නෙ කියලා උදාහරණයක් හැටියට අපි ගත්තොත් Paracetamol Suppository එක වේදනාවක් ඇති වුණාම අර පස්සෙන් දාන කරල, මේක රුපියල් 165.00ට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 12.00 යි. Dexamethasone 4mg ටැබ්ලට් එක රුපියල් 153.00ට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 6.49 ට, මේ සියලූ ලේඛන මම සභාගත කරන්න කැමතියි. මෙම ඖෂධ සම්බන්ධයෙන් ලියකියවිලි ටික තමයි මේ ඖෂධ සම්බන්ධ දත්ත ගොනුවේ තිබිල මැකුනේ.

මේව ගැන විමර්ශන පටන්ගත්තට පස්සෙ රුපියල් බිලියන ගණනක පාඩුවක් රටට වෙච්ච ඖෂධ පිළිබඳව විමර්ශන පටන් ගත්තට පස්සෙ තමයි ඒ කියන ලිපි ගොනුව මේ දත්ත ක්ලවුඩයෙන් මැකිල ගිහින් තියෙන්නේ. එය ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි මේ වන විට කටයුතු කරමින් යනවා. ඒ වාගේම තමයි මේව මැකුවේ කවුද කියන කාරණය හොයලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ලැබුණට පස්සේ අනිවාර්යයෙන්ම ඒ සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment