පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි පාවිච්චි කරල මැතිවරණය කල් දාන්නයි මේ සූදානම – ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

80

සරසවිවල හුදකලා සිද්ධි අරන් මේ ගහන්නෙ මඩ

අපේ ස්ථාවරයේ වෙනසක් නෑ. පුද්ගලික විශ්වවිද්‍යාල නියාමනය විය යුතුයි

මැතිවරණය යනු වර්තමාන ආණ්ඩුවේ ශබ්දකෝෂයේ නොමැති වචනයක් බව ජ. වි. පෙ. වේදිකාවේ නිතර ඇසුණු චෝදනාවකි. පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට නොපැවැත්වීමත් මහ පොලවේ ජනමතය වෙනස්ව තිබීමත් ජ.වි.පෙ. මේ චෝදනාවලට පදනම විය. එවැනි විටෙක මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීමට තීරණය කර ඇත. ආණ්ඩුවද මැතිවරණය පැවැත්වීම සඳහා සෘණාත්මක ආකල්පයක් පෙන්නුම් නොකරන පසුබිමක ජනතා විමුක්ති පෙරමුණ දැන් ඒ සම්බන්ධව දක්වන මතය කුමක්ද ? මේ එම කරුණ හා බැඳි ප්‍රශ්න කිහිපයකට ජ.වි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ලබාදුන් පිළිතුරුය.

ආණ්ඩුව මැතිවරණවලට බයේ මැතිවරණ කල් දානවා කියල ඔබල චෝදනා කළාට දැන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර මග සලසමින් පසුවෙනවා. දැන් ඔබලා මොකද ඒ ගැන කියන්නෙ ?

පළාත් පාලන ඡන්දය අවුරුද්දකින් කල් දාල තියෙන්නෙ. ඇත්තටම ඒක වැරදි. මේ මැතිවරණය තියන්න තිබුණේ මීට වසරකට පෙරදි. දැන් මැතිවරණ කොමිසමට බලය පැවරිල තියෙනවා මැතිවරණය පවත්වන්න. හැබැයි කොමිසම තවම කියල නෑ හරියටම ඡන්දය පවත්වනවා කියල. මේ ජනවාරි නව වෙනිදා වෙනකන් කොමිසට කාලය තියෙනවා මැතිවරණය පවත්වනවාද කියල කියන්න. ඒ අතරතුරේ ආණ්ඩුව පැත්තෙන් මේක නැවතත් කල් දාන්න විවිධ උපක්‍රම හොයමින් ඉන්නෙ. හදිස්සියේම පාර්ලිමේන්තු දිනයක් ජනවාරි පස්වෙනිදාට දාල තියෙනවා. ඒ දාල තියෙන්නෙ මේ මැතිවරණය පැවැත්වීම කාල්දාගන්න මොකක් හරි උප්පරවැට්ටියක් යොදන්න.

ආණ්ඩුවට ඡන්දය කල් දාන්න තියෙන වුවමනාව මොකක්ද ?

ආණ්ඩුව ඡන්දය කල් දාන්න හදන්නෙ ආණ්ඩුවට ජනමතයක් නැති නිසා. ආණ්ඩුවට තියෙන්නෙ ජනතා විරෝධයක්. කොමිසම මොනවා කිව්වත් තාම ඡන්දයක් තියෙන එක විශ්වාසයක් තියන්න බෑ. හැබැයි නීත්‍යනුකූල තත්ත්වය තුළ දැන් ඡන්දය තියන්න ඕන. අපිත් ආණ්ඩුවටත් කොමිසමටත් බල කරනවා ඡන්දය තියන්න කියල. ජනතාවත් ඉල්ලන්නෙ ඡන්දයක්.

මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණ ප්‍රකාශයට පත් කළොත් ආණ්ඩුවට එය නැවත්වීමේ හැකියාවක් තියෙනවද?

පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි පාවිව්චි කරල යම් යම් සංශෝධනයන් හරහා වගේම දැන් කරගෙන යන සීමා නිර්ණ කමිටු වාර්තා පාවිච්චි කරල තියෙන නීතියට උඩින් නීති සංශෝධනය කරන්න ආණ්ඩුවට හැකියාව තියෙනවා. ඒකට ලක ලෑස්ති වෙන බවක් තමයි මේ පේන්න තියෙන්නෙ. ඒකයි අපි මේ අවස්ථාවේ මැතිවරණය පැවැත්විය යුතුයි කියල බලපෑමක් කරන්නෙ.

වර්තමාන ආණ්ඩුව හැදිල තියෙන්නෙ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු එකතු කරගෙන. ආණ්ඩුව ඇතුළෙ සිටින මේ පක්ෂවල වැඩි බහුතරයෙ කැමැත්ත තියෙන්නෙ ඡන්දයක් නොපැවැත්වීම කියන තැනද ?

එක්සත් ජාතික පක්ෂය සහ පොදු පෙරමුණ කියන දෙගොල්ලොම ඡන්දයකට බයයි. මොකද මහ පොලවේ ජනතාව බලන් ඉන්නෙ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න. ඒක එයාල දන්නවා. ඒ නිසා මතුපිටින් මොන ප්‍රකාශ කළත් ආණ්ඩුවේ සියලු කොටස් උත්සාහ කරන්නෙ මේක කල් දාන්න. මොකද පළාත් පාලන ඡන්දය කියන්නෙ ජනමතය පරීක්ෂා කරන මැතිවරණයක්. පළාත් පාලන ආයතනවලට අලුතින් නියෝජිතයන් පත් කරනවා කියන එකට වඩා එතන තියෙන්නෙ ආණ්ඩුවට ජනතාවගේ කැමැත්ත තියනවාද නැද්ද කියල බලන පරීක්ෂණයක්. ඒකෙන් ආණ්ඩුව ෆේල් වෙනවා කියල දැනටම ඔවුන් දන්නව. ඒක ආණ්ඩුවේ ඇතුළෙ ඉන්න අනිත් අයටත් අවාසි සහගතයි. ඒ නිසා ඔවුන් බලන්නෙම මොකක් හරි උප්පරවැට්ටියක් දාල මේ මැතිවරණය නවත්වන්න.

පසුගිය කාලේ රටේ ජනමතය ජ.වි.පෙ. ට වාසි සහගත තත්ත්වයක තිබුණ බව පෙණුනා. හැබැයි දැන් දැන් එය දියාරු වෙමින් යනවා නේද ?

නෑ. කිසිසේත් එහෙම එකක් නෑ. ඇත්තම ගත්තොත් තව තව වර්ධනය වෙනවා. අපි ජාතික ජනබලවේගය විදියට විවිධ ජන කොට්ඨාස දැනුවත් කරමින් සංවිධානය කරමින් යනවා. ඒ අය වේගයෙන් අපේ අලුත් සංධානයට එකතු වෙන බව අපි දකිනවා. බිම් මට්ටමේදී පහුගිය මැතිවරණවලදි ගෝඨාභය රාජපක්ෂ දිනවීමට කටයුතු කරපු විශාල ක්‍රියාකාරීන් ප්‍රමාණයක් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නෙ. ඒ වගේම රටින් බැහැරව සිටින ස.ජ.බ., යූ.ඇන්.පී. ක්‍රියාකාරීන් දැන් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා.

ඔය කියන විදියට මේ මැතිවරණයේදී ඔබලාගේ සියයට තුනක ඡන්ද පදනම වෙනස් වෙයිද?

වෙනස් වෙයි නෙමෙයි දැනටමත් වෙනස් වෙලා තියෙන්නෙ. ඒක හොඳට දැක ගන්න පුළුවන් මැතිවරණය පැවැත්වුවොත්. ඒක නිසා තමා ආණ්ඩුව බය වෙලා මැතිවරණය කල් දාන්න හදන්නෙ.

ඉතිහාසයේ අපි නිතර දැක්ක දෙයක් තමයි මැතිවරණයක් නැති විටකදී ජ.වි.පෙ. වටා ජනමතයේ රැල්ලක් හැදෙනවා. නමුත් මැතිවරණයක් පැමිණ එහි ප්‍රතිඵල වලින් පෙන්නුම් කරන්නෙ ඒ රැල්ල මායාවක් බව. ඇයි ජ.වි.පෙ. ට හැමදාම මෙහෙම වෙන්නෙ ?

ඒක හැමදාම එහෙමම වෙලා නෑ. එය පිළිගන්න බෑ. ඉතිහාසයේ ගත්තත් අපේ මන්ත්‍රීධුර එකක් තිබ්බ එක දහයක් වුණා. ඊට පස්සෙ දහසයක් වුණා. හතළිස් එකක් වුණා. ඊට පස්සෙ අඩු වුණා. එහෙම අඩු වැඩි වෙන අවස්ථා තියෙනවා. දේශපාලනයේදී එහෙම තමා. වැඩි වන අඩුවෙන අවස්ථා එනවා. අනිත් පක්ෂ වලටත් එහෙම තමා. බලයට එනවා පරදිනවා. ඒක පොදු දේශපාලන තත්ත්වයක්. නමුත් අද තත්ත්වය ගත්තොත් විවිධ පුද්ගලයන් සහ ආයතන කරපු සමීක්ෂණ වාර්තා වල උඩින්ම ඉන්නෙ ජාතික ජනබලවේගය.

අපි වෙනත් මාතෘකාවකට අවධානය යොමු කරමු. සමාජ මාධ්‍යවල පසුගිය දිනවල ප්‍රචාරය වී තිබුණා පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව මීට පෙර ජ.විපෙ. දැරූ මතයට පටහැනි මතයක්. නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා සම්බන්ධ කරමින් එම වාර්තා වලින් කියවුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ යුතුයි කියන මතය. මේ මතය ජ.වි.පෙ. මතයද ?

ඒක සම්පූර්ණයෙන් වැරදි ප්‍රචාරයක්. වැරදි මතයක්. අපේ රටේ නිදහස් අධ්‍යාපනය තවත් ශක්තිමත් කර ආරක්ෂා කළ යුතුයි කියන එකයි අපේ ස්ථාවරය. දරුවන්ගෙ අධ්‍යාපනය රජය බාර ගත යුතුයි කියන එකයි අපේ ප්‍රතිපත්තියේ මූලික පදනම. නලින්ද ජයතිස්ස කිව්වෙ ඒක. දැනට පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ගුණාත්මක භාවය සහ ඒවයේ මූල්‍ය තත්ත්වය නියාමනයකට යටත් කරනවා කියන එකයි ඔහු කිව්වෙ. ඒ කියන්නෙ හෙට ආණ්ඩුවක් පිහිටෙව්වොත් මේවා එකපාරට වහල දාන්න බෑ. එහෙම වුණොත් ඒ දරුවන්ගෙ අධ්‍යාපනය එහෙන්ම කඩා වැටෙනවා. නලින්ද ඒ නිසා රජය තමයි අධ්‍යාපනයේ මූලික වගකීම බාර ගන්නෙ. නමුත් දැනට පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමනයකට යටත් කරනවා කියන එක. ඒක වෙනත් විදියට අර්ථකථනය කරගෙන අපි පුද්ගලික විශ්වවිද්‍යාල වලට කමැතියි කියන වැරදි මතය ප්‍රචාරය වෙලා තියෙන්නෙ. ඒක සම්පූර්ණ වැරදියි.

ජ.වි.පෙ. ට සරසවි ශිෂ්‍ය සංගම් සමග දැඩි සම්බන්ධයක් තියෙනවා. පේරාදෙණියේ සරසවි සිසුන් පිරිසක් එහි හිටපු උපකුලපතිවරයාගේ නිල නිවසට පහර දීමත් එක්ක සරසවියේ භීෂණයක් ගැන සමාජයේ කතා වෙනවා. ඇතැම් පිරිස් සරසවි සිසුන්ගෙ මේ හැසිරීමේ වරද පැටෙව්වේ ජ.වි.පෙ. ට සහ පෙරටුගාමී පක්‍ෂවලට. මේ චෝදනවාට ඔබලා දෙන පිළිතුරක්?

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර යම් පුංචි හෝ හුදකලා සිදුවීමක් වුණත් ඒක දේශපාලන පක්ෂවලට බැර කරනවා. දැන් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආණ්ඩුවට අභියෝගයක් වෙලා තියෙන්නෙ. ඔවුන්ගෙ ප්‍රගතිශීලී ක්‍රියාකාරිත්වය ආණ්ඩුවේ පැවැත්මට බාධාවක් වෙලා තියෙන්නෙ. ඒ නිසා හුදකලා ඇතිවෙන සිදුවීම් පවා ශිෂ්‍යයන්ට එරෙහිව පාවිච්චි කරනවා විතරක් නෙමෙයි ඒක දඩමීමා කරගෙන ශිෂ්‍ය ව්‍යාපාර වලටත් දේශපාලන පක්ෂවලටත් අවලාද කරන්න පටන් අරන් තියෙනවා. ඔය බෙරේ හැමදාම ගහපු එකක්. දැන් පේරාදෙණියෙ සිදුවීම තමයි අලුතින්ම මඩ ගහන්න පාවිච්චි කරන්නෙ. ඒක මේ වාහනයක් හැප්පිලා ඇතිවුණ සිදුවීමක්. ඒ වගේ දේවල් සමාජයේ නිතර වෙනවා. එහෙම අනතුරු වුණාම එතන ඉන්න අය ප්‍රකෝප වෙන සිදුවීම් මේ සමාජයේ ඕනෑ තරම් වෙලා තියෙනවා. ඒකත් අරගෙන දේශපාලන දඩයමක් මේ කරන්නෙ.

දැනට අත්අඩංගුවට පත්ව සිටින ශිෂ්‍යයන් පක්ෂයට සම්බන්ධ නම් ඔවුන් වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවද?

කිසිසේත් ඒ පිරිස පක්ෂයට සම්බන්ධ නෑ. ශිෂ්‍යයන් ඒ විදියට හැසිරුණ එක වැරදියි. මහාචාර්යවරයාගේ ගෙදරට ගහපු එක සම්පූර්ණයෙන් වැරදි. අපි ඒක තරයේම හෙළා දකිනවා. ඒ වගේම ඒ අයට එරෙහිව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. හැබැයි මේ ශිෂ්‍යයෝ එදිරිවීර සරච්චන්ද්‍ර රඟහලේ නාට්‍ය බලමින් ඉන්න වෙලාවේ කවුද මෙතෙන්ට ඇවිත් මේ කළහකාරී තත්ත්වය ඇති කරේ. ඒ පුද්ගලයා කරපු වැරැද්ද මේ කවුරුත් කතා කරන්නෙ නෑ. නිකන්ම ළමයි ගිහින් එහෙම හැසිරෙයිද. ඒක නිසා මේ සිදුවීම වෙන්න බලපාපු මූලික සිදුවීමත් බලල ඒ වැරැද්දට අදාළවත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment