පාර්ලිමේන්තුවේ පක්ෂ එකට එකතුවත් කාටවත් 50%ක ඡන්ද පදනමක් නෑ

150

රටේ බහුතරයකට දේශපාලනය හා ඡන්ද ගැන විශ්වාසය කඩ වෙලා
ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණදී ඉදිරියට යෑමට උත්සාහ ගැනීම සියලු‍ දෙනාගේ වගකීමක්

  • අගවිනිසුරු ජයන්ත ජයසූරිය

අත්‍යවශ්‍ය නීති පද්ධතියක් සහ ස්වාධීන අධිකරණයක් රට තුළ තිබීම අත්‍යවශ්‍යයි

  • නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න

පාර්ලිමේන්තුවේ සියලු‍ම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකුට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත් එබැවින් සියලු‍දෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඉකුත් (02)දා පැවති “2023/2024 ජාතික නීතිඥ සමුළුව අමතමිනි.

නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස්

වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ජාතික නීති සමුළුව මඟින් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ එහි වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන පළමු අවස්ථාව මෙයයි. ඒ සඳහා නුවරඑළිය සහ මෙම ස්ථානය තෝරා ගැනීම සුදුසු බව මම විශ්වාස කරනවා. අප අද මෙහි හමුවන්නේ අපේ රට අසාර්ථක රාජ්‍යයක් බවට පත් විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබි ගෙවී ගිය මාස 10 – 11 කට පමණ පසුවයි. නමුත් මේ මොහොත වන විට අපි රට තුළ නීතිය හා සාමය, දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර තිබෙනවා. මේ ස්ථාවරභාවය කෙටිකාලීන දෙයක් පමණක් බව අපට වැටහෙනවා. එබැවින් මෙම අභියෝගය ජය ගැනීමට අප තව බොහෝ

දුර යා යුතුව තිබෙනවා.

තවමත් අපේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී තිබෙනවා. පාර්ලිමේන්තුව වේවා, අධිකරණය වේවා, ජනමාධ්‍ය වේවා, පෞද්ගලික අංශයේ පිහිටුවා ගත් වෘත්තීය සමිති වේවා, වෘත්තීකයන් වේවා, අපේ රටේ අති බහුතරයක් ජනතාව සහ රාජ්‍ය පාලකයන් අතර සමස්ත පද්ධතිය පිළිබඳ විශ්වාසයක් නැහැ.

මෙහිදී අදහස් දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා

පසුගිය වසර කිහිපය තුළ අභියෝග රැසක් මධ්‍යයේ වුවද නීතීඥ සංගමය සාමාජිකයන් එක්රැස් කර විවිධ තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වුණා. 2022 වසරේ එහි තේමාව වූයේ නීති වෘත්තියේ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිනිර්මාණය කිරීම සහ අනුගත වීමයි. ඉන් පසුව මේ වසර මුලදී අර්බුදයක් හරහා ගමන් කිරීමේ – නීතියේ භූමිකාව තේමාව යටතේ අපි එකට එකතු වුණා. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පෙර නොවූ විරූ දුෂ්කරතා සහ අභියෝගවලට අප සියලු‍ දෙනාට මුහුණදීමට සිදු වුණා. නමුත් මෙම තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට සහ ඉදිරියට යාමට හැකි සෑම උත්සාහයක්ම ගැනීම අප සියලු‍ දෙනාගේ වගකීම කියා අප විශ්වාසය කරනවා.

නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා

සාම්ප්‍රදායිකව ජාතික නීති සම්මේලනය කැපවී සිටින්නේ නීති වෘත්තියට අදාළව එදිනෙදා මතු වන මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. කෙසේ වෙතත්, මෙවර ජාතික නීති සමුළුව 2023/2024 වෙනස් ප්‍රවේශයක් ගෙන තිබෙනවා. රටේ ජාතික අවශ්‍යතා සහ යහපත් අනාගතයක් සඳහා නීති ප්‍රජාවේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි මෙවර සමුළුව වෙන්කර තියෙනවා. මෙම ප්‍රයත්නයේදී අපි පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධ වී සිටිනවා. අන් කවරදාටත් වඩා දේශපාලනික සහ ආර්ථික අභියෝගයකට අපේ රට මුහුණදී සිටින බව නොරහසක්. එබැවින් අත්‍යවශ්‍ය නීති පද්ධතියක් සහ ස්වාධීන අධිකරණයක් රට තුළ තිබීම අත්‍යාවශ්‍යයි. නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සහ රට අපේක්ෂිත දිශාවට ගෙනයාම සඳහා දූරදර්ශී, විනය ගරුක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සහ අපේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් මෙන්ම රටේ ආරක්ෂාව සහතික කරන නායකත්වයක් අත්‍යවශ්‍ය යි.

ජාතික නීතිඥ සම්මේලනයේ සභාපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා

අද ජාතියක් ලෙස අප සිටින්නේ අර්බුදකාරී කාල වකවානුවකයි. මෙය හුදු නීතීඥ ප්‍රජාව එකමුතු කරන සම්මන්ත්‍රණවලින් එකක් නොවෙයි. ප්‍රතිපත්ති සම්පාදකයින්, නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදයක ආරම්භයක් ලෙස මෙම සමුළුව පැවැත්වීමට අපි තීරණය කළේ රට සහ ආර්ථිකය ගොඩ ගැනීම සඳහායි. අප ජාතියක් ලෙස දියුණු වීමට නම් නීති අංශ ව්‍යවසායකත්වයේ වැදගත්කම හඳුනා ගැනීම වැදගත්. ඒ වගේම ව්‍යවසාය සහ ව්‍යවසායකයින් නීතියේ ආධිපත්‍යයද පිළිගත යුතුයි.

නීතිපති සංජය රාජරත්නම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. සමරතුංග යන මහත්වරුන්, ජනාධිපති බිරිඳ මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිඥවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment