පාර්ලිමේන්තුවේ වාර අවසානය අර්බුදයක්!

355

හදිසියේම පාර්ලිමේන්තු වාර අවසන් කිරීම අලුත් දේශපාලන අර්බුදයකට මුලපිරීමක් බවට දේශපාලන අංශ මත පළ කරයි. මේ වනවිට පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති නිසා ආණ්ඩුව මැතිවරණයට බලපෑමක් එල්ලකිරීම අරමුණු කරගෙන මෙම ක්‍රියාමාර්ගයට පිවිස ඇති බවට සැකකරන බව ද ඔව්හු පවසති.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීම තුළ පළාත් පාලන මැතිවරණයට කිසිදු බලපෑමක් කළ නොහැකි බවය.

මැතිවරණ කටයුතු සාමාන්‍ය පරිදි රටපුරා ක්‍රියාත්මකව පවතින බව ද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු වාර අවසාන කිරීම මගින් ඉදිරියේදී පවත්වන පළාත් පාලන මැතිවරණයට කිසිම බලපෑමක් නොවන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ආණ්ඩුවට මැතිවරණය කිසිදු හේතුවක් මත දැන් කල් දැමිය නොහැකි බව ද හෙතෙම සඳහන් කළේය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයේ කටයුතු අවසන් කිරීමෙන් (වාර අවසාන කිරීම) ඉදිරි පළාත් පාලන මැතිවරණයට කිසිදු බලපෑමක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඔළුව විකාර වී කටයුතු කරන අය එක එක දේ කරමින් කටයුතු කරන බව ද ඒ මහතා කීය.

පළාත් පාලන මැතිවරණය නියමිත දිනයේ පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසම සතු දෙයක් බව ද ඒ මහතා කීය.

එනිසා මේ ඔළුව විකාරයෙන් කරන කිසිදු පියවරකින් එළඹෙන පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හෝ එය නතර කිරීමට නොහැකි යැයි ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු නව සැසි වාරය පෙබරවාරි මස 08 වැනිදා පෙරවරු 10ට ආරම්භ කෙරේ.

එය නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභාවාරය ලෙස හැඳින්වෙනු ඇත. පාර්ලිමේන්තුව පසුගිය සිකුරාදා (27දා) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබිණ.

මීට පෙර පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී සභාවේ කටයුතු පෙබරවාරි මස 07දා පෙරවරු 9.30ට කල් දමා තිබිණි.

මෙලෙස වාරාවසාන කිරීමක් අතරතුරදී, කථානායකවරයා අඛණ්ඩව සිය කාර්යයන් ඉටුකරන අතර මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවූවද සිය ධුරයේ රැඳී සිටිති.

වාරාවසාන කිරීමක බලපෑම වන්නේ පාර්ලිමේන්තුව අභිමුව ඇති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභාව අභිමුව ඇති සියලු ක්‍රියාවලි අවලංගු වීමයි. එකම කරුණ හා සම්බන්ධ පනත් කෙටුම්පතක්, යෝජනාවක් හෝ ප්‍රශ්නයක් එම සැසිවාරය තුළම දෙවැනි වතාවට ඉදිරිපත් කළ නොහැකිය.

කෙසේ වෙතත්, එය වාරාවසාන කිරීමකින් අනතුරුව එළැඹෙන සැසිවාරය දක්වා ගෙනයා හැකිය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment