පාර්ලිමේන්තුවේ සංයුතියෙන් ජනමතය නියෝජනය වන්නේ නෑ – විජිත හේරත්

285

මහ පක්‍ෂ දෙක එකම  කාසියේ දෙපැත්ත වගේ

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන පක්ෂ දෙක එකම කාසියේ දෙපැත්ත යැයි නැවත වරක් සනාථ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (19දා) ‘දිවයින’ට පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ස්ථිර කළේය. ඩලස් අලහප්පෙරුම මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ස්ථිර කිරීමෙන් පෙනෙන්න ඇත්තේ එම සත්‍යය බවත් හෙතෙම කීවේය.

රනිල් වික්‍රමසිංහ හෝ ඩලස් අලහප්පෙරුම යන අපේක්ෂකයන් රටේ පවතින ජනමතය නියෝජනය කරන්නන් නොවන බවත් පාර්ලිමේන්තුවේ සංයුතිය තුළ ජනතාවගේ ජන මතය කිසිසේත් නියෝජනය නොවන අතර ජනමතය වෙනුවෙන් ජාතික ජන බලවේගය අනිවාර්යෙන්ම පෙනී සිටින බවත් හෙතෙම කීවේය.

ජනතාවගේ ජනමතය සහ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි යනු එකක් නොව දෙකක් බව මෙම සියලු සිදුවීම්වලින් දිගින් දිගටම පැහැදිලි වන බව සඳහන් කළ විජිත හේරත් මහතා රටේ ජනමතය නියෝජනය වන පාර්ලිමේන්තුවක අවශ්‍යතාව දැඩි ලෙස මතුව ඇතැයි ද කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment