පාර්ලිමේන්තුව අසල සිද්ධියේ කවුද හරි?

535

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මනිත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවේදී ඉතා වටිනා ප‍්‍රකාශයක් කරනු ලැබීය. ඒ රණවිරුවන් පිිබඳව සඳහන් කරමිනි.

අද දවසේ රට තුළ කි‍්‍රයාත්මක ජනතා අරගල රැල්ලේදී රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරන හමුදා විරුවන් දෙස බලා ජනතාව අතර සිටින ඇතැමුන් අපහාසාත්මක ලෙසින් අටපාස් ආමිකාරයන් යැයි කියමින් සිටිනුයේ ඉතා මුග්ධ ලෙසිනි.

පසුගියදා සරත් ෆොන්සේකා මහතාද පාර්ලිමේන්තුවේදී රණවිරුවන් පිළිබඳව කතා කිරීමේදී මේ කියන අටපාස් කියමන සඳහන් කරනු ලැබීය. එහෙත් ඉකුත් සිකුරාදා තමන් එසේ කීවේ අපහාස කිරීමෙන් අරමුණින් නොවන බව කී සරත් ෆෝන්සේකා මහතා යුද හමුදා සෙබළුන්ට මෙසේ පැවසීමට හේතු වී තිබෙන්නේ යුද හමුදාව ඔවුන්ව එකී අධ්‍යාපන සුදුසුකම් මත බඳවා ගන්නා බැවින් වන බවය.

කෙසේ වෙතත් අටපාස් සුදුසුකම් මත ඔවුන් බඳවා ගනු ලැබුවද එසේ හමුදාවට පැමිණ දක්‍ෂතාවය මත ජෙනරාල් නිලය දක්වා ඉදිරියට ගිය අයද සිටින බව පෙන්වා දුන් සරත් ෆොන්සේකා මහතා කිසිසේත්ම එසේ පවසා රණවිරුවන් අවතක්සේරුවට ලක් කළ නොහැකි බවද සඳහන් කළේය.

පළමුව සරත් ෆොන්සේකා මහතා කළ ඒ කරුණු පැහැදිලි කිරීමට රටේ සිටින එකම ෆීල්ඞ් මාර්ෂල්වරයා ලෙස ඔහුට අපේ ගෞරවය පුද කරමු. සැබවින්ම මේ කියන අටපාස් කතාව මේ ආකාරයට පාර්ලිමේන්තුව දක්වා ගමන් කරනු ලැබුවේ ඇයි. පසුගියදා පාර්ලිමේන්තුව පවතින අතරතුර වත්මන් අරගලයේ කොටසක් ලෙස කි‍්‍රයාත්මක වෙමින් තිබූ විරෝධතාවක් අතරට යුද හමුදා විශේෂ බළකායේ සංග‍්‍රාමික යතුරුපැදි බලඝණයේ සන්නද්ධ සෙබළුන් දෙදෙනකු ගමන් කළ යතුරුපැදියක් ළඟා වීම එයට හේතුව විය.

මෙම යතුරුපැදිය එම ස්ථානයට ළඟා වීමේදී එහි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් එකවරම කඩා පැන එම යතුරුපැදිය නවතා එහි සිටි සෙබළුන්ට පහර දෙකක් දී පන්නා දැමීය. එම පොලිස් කණ්ඩායමේ සිටි සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු පසුව කියා සිටියේ අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණි ඔවුන් නිසා යම් බිහිසුණු ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමේ ඉඩක් තිබීම හේතුවෙන් එසේ සිදු කළ බවකි.

කෙසේ වෙතත් එම සිදුවීමට අදාළ වීඩියෝ පටයකින්ද පෙනී ගියේ එකී සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනා ඉතා අශෝබන ලෙස යතුරුපැදියේ පැමිණි විශේෂ බළකා සෙබළුන් දෙදෙනාට බැණ වදිමින් පහර දෙන අන්දමය.

මෙම සිද්ධියත් සමඟ යුද හමුදාපතිවරයා ඒ පිළිබඳ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව පසු විමර්ශනයක්ද කි‍්‍රයාත්මක විය. එම විමර්ශනය ආරම්භ වීමත් සමඟ කියැවෙන්නට වූ තවත් කතාවක් වූයේ හමුදා සෙබළුන් දෙදෙනකු එසේ ආයුධ සන්නද්ධව එම ස්ථානයට පැමිණීම සහ එම ප‍්‍රදේශයේ ගමන් කිරීම ආගන්තුක සිදුවීමක් මෙන්ම ඔවුන් අංක තහඩු නොමැති යතුරුපැදියකින් එහි පැමිණීම නීති විරෝධී වන බවය.

ඔව් අපිද පිළිගනිමු. ජනතා විරෝධයක් අතරට එසේ සන්නද්ධ සෙබළුන් දෙදෙනකු පැමිණීම යම් සිදුවීමක ආරම්භයක් විය හැකිය. ප‍්‍රකෝපකාරී වන විරෝධතාකරුවන් එහිදී සෙබළුන් දෙදෙනා සමඟ ගැටෙන්නට යෑමෙන් ඇතැම්විට ඛේදනීය තත්ත්වයක් පවා ඇති විය හැකිය.

පාර්ලිමේන්තුව අසල සිද්ධියේ කවුද හරි?

එහෙත් විශේෂ බළකා සංග‍්‍රාමික බලඝණයේ සෙබළුන් එසේ යතුරුපැදියෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්න මාර්ගයන්හි ගමන් කිරීම ආගන්තුක සිදුවීමක්ද? අප කළ සොයා බැලීම්වලදී නම් අනාවරණය වූයේ පාර්ලිමේන්තුව කි‍්‍රයාත්මක දිනවලදී ආරක්‍ෂිත පියවරක් ලෙස එය සිදු කෙරෙන බවය.

එසේම අංක තහඩු නොමැති යතුරුපැදියකින් ඔවුන් ගමන් කළේද? නැත එම යතුරුපැදියේ සාමාන්‍ය ආකාරයට නොව දෙපස අංක තහඩු සටහන් කර තිබිණි. පොලිසිය එය නොදුටුවා විය හැකිය. එසේම මෙරට කි‍්‍රයාත්මක මෝටර් රථවාහන නීති අනුව 1951 අංක 14 පනතේ 38 වගන්තියෙන් මෙන්ම 1981 සංශෝධන පනත මගින් හමුදා වාහන සඳහා විශේෂ මුක්තීන් ලබා දීමට කටයුතු කෙරී ඇත.

යුදමය රාජකාරි සහ විශේෂ රාජකාරිවලදී පවතින නීතිය අකුරටම කි‍්‍රයාත්මක කිරීමට නොහැකි බැවින් එසේ කටයුතු සිදු කිරීමට පැවති රජයන් කි‍්‍රයා කර ඇත. ඒ අනුව බලන කල නම් එම සෙබළුන් දෙදෙනා අංක තහඩු නොමැතිව එම ස්ථානයට පැමිණියද එහි වරදක් තිබිය නොහැකිය.

මන්ද ඒ වන විට ඔවුන් විශේෂිත ආරක්‍ෂක රාජකාරියක නිරතවී සිටි නිසාය. මෙහිදී එම ස්ථානයට යතුරුපැදි හතරක් ළඟා විය. ඔවුන් ගමන් කරමින් සිටියේ විරෝධතාකරුවන්ට බාධා කිරීමට නොව එම ස්ථානය පසුකර යෑමටය. කෙසේ වෙතත් පොලිසිය ඔවුනට බාධා කරමින් මේ අන්දමට එක් යතුරුපැදියක පැමිණි සෙබළුන් දෙදෙනාගෙන් එය පැදවූ සෙබළාගේ මුහුණු ආවරණය පවා ඉවත් කර පහරදී පන්නා දැමුවේ ඇයි.

නිල ඇඳුමක් හැඳ සිටින රජයේ ආරක්‍ෂක අංශ නිලධාරියකුට එසේ පහර දීමට පොලිසියට හැකියාවක් තිබේද? රජයේ නිලධාරියකුට තබා සාමාන්‍ය සිවිල් වැසියකුටවත් ඒ අන්දමට පහර දෙන්නට පොලිසියට නොහැකිය. මේ පහර දීම සිදු කරනු ලැබුවේද අප ඉහතින් කී සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනාය. මොවුන් දෙදෙනා කවුරුන්ද? ඉන් එක් නිලධාරියකු ඉතා යහපත් රාජකාරී ජීවිතයක් ගෙවා දමා ඇති ඍජුව කටයුතු කිරීම නිසාම නිරන්තර දේශපාලන ගැටලූවලට හා පලිගැනීම්වලට ලක්වූ අයකු බව අපි ගැටලූවකින් තොරව මෙහි සඳහන් කරන්නෙමු.

එහෙත් අනෙක් නිලධාරියා නම් එසේ නැත. කලකට ඉහත වරක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගාල්ල හික්කඩුව ප‍්‍රදේශයේ වැටලීමක් සිදු කරනු ලැබීය. පාතාල ප‍්‍රබලයකු මෙන්ම මහා පරිමාණ කුඩු ජාවරමකු වූ රත්ගම විදුර නමැත්තා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව ඒ වැටලීම සිදු කෙරිණි.

එහිදී හෙරොයින් මත්කුඩු කිලෝ ග‍්‍රෑම් දහයක් සහ ගිනි අවි දෙකක් සමඟ රත්ගම විදුරගේ සමීප ගෝලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ බවුසර් දුෂාන්ත නමැත්තෙකි.

ඒ වන විට කුඩු ජාවාරමෙන් සුපිරි ධනවතකු බවට පත්ව සිටි බවුසර දුෂාන්තට අයත් මෝටර් රථයක් හික්කඩුව ප‍්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකුගේ භාරයේ තිබියදී අත්අඩංගුවට ගැනීමට මෙහිදී පොලිසිය කටයුතු කළේය.

එවකට පොලිස් පරීක්‍ෂකවරයකු වූ එම උසස් පොලිස් නිලධාරියා කවරෙක්ද? අද වන විට සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස උසස් වීම් ලබා පාර්ලිමේන්තු වටරවුමේදී යුද හමුදා විශේෂ බළකා සෙබළුන් දෙදෙනා පහරදුන් අනෙක් පොලිස් නිලධාරියා වූයේ ඔහුය. ඔහු සහකාර පොලිස් අධිකාරි ධුරයට මැතකදී පත්වූවෙකි. ඒ සඳහා වූ සම්මුඛ පරීක්‍ෂණවලට ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීමේ චෝදනාවක් පසුගිය කාලයේ මෙම නිලධාරියාට එල්ල වී තිබිණි. අද පොලිසියේ ඇතැමුන් කියනුයේ එසේ හොර සහතික ඉදිරිපත් කර තිබියදීත් ඔහු එම උසස් වීම ලැබුණේ යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ආශිර්වාදයෙන් වන බවය.

යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ පිහිටෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස ඔහු උසස් වීම් ලද්දේ නම් මේ අන්දමට රාජකාරියේ නිරත හමුදා සෙබළුන්ට හෙතෙම පහර දීම සහ යුද හමුදා සෙබළුන් හඳුනා ගැනීමට නොහැකි වූයේ යැයි පැවසීම කොතරම් නින්දිතද?

ඒ ගැන කියන්නට වචන නැත. කෙසේ වෙතත් යළි මෙවැන්නක් කිසිදා සිදු නොවිය යුතුය. රජයේ නිලධාරීන් ලෙස යුද හමුදා සෙබළකු හඳුනා ගන්නට නොහැකි නම් පොලිසියෙන් ඇති වැඩක්ද නැත. විශේෂයෙන් කුඩු කාරයන් ඇසුරු කර කාගේ හෝ පිහිටෙන් ඉහළට ගිය අයගෙන් නම් කොහෙත්ම වැඩක් නැත.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් මෙහිදී පහර දෙන්නේද යුද හමුදා විශේෂ බළකායේ සෙබළුන් දෙදෙනකුටය. විශෙෂ් බළකාය මේ රටට නිදහස දිනා දුන් ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ඉටු කළ ජාතික මෙහෙවර මෙවැනි කෙටි සටහනකින් ලියා තබන්නට නොහැකිය.

එය එතරම්ම වික‍්‍රමාන්විත සහ එඩිතර වූවකි. එදා යුද පෙරමුණෙන් ඔබ්බට කුඩු කණ්ඩායම් ලෙස ගොස් සතුරු අඩවියට ඇතුළු වී වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මරමස්ථාන සුණුවිසුණු කර යළි පැමිණියෝ ඔවුහුය. මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ දේ කියන ඇතැමුන් අද සඳහන් කරන තවත් කතාවක් වී තිබෙන්නේ දැන් යුද්ධයට ගිය රණවිරුවන් ති‍්‍රවිධ හමුදාවේ නැතැයි යන්නය. ඒවායෙහි ඇති බොළඳ සහ මෝඩ මෙන්ම මුග්ධ බව කියා නිම කළ නොහැකිය.

ඉතිහාසයට අනුව මේ කියමන ගලපා ගත හොත් ගජබා රජු සොළී රටට ගොස් නීල මහා යෝධයාගේ වික‍්‍රමයන් හේතුවෙන් සොළීන් පැරදීමෙන් පසු ඒ වීරත්වය අවසන් වූයේ නම් දුටුගැමුණු රජුට සොළී පරදන්නට දසමහ යෝදයන් බිහි නොවන්නාක් මෙන්ම ප‍්‍රභාකරන් පරදා පැවති ත‍්‍රස්තවාදය විජයග‍්‍රාහීව නිමා කරන්නටද අපට නොහැකි වන්නේය.

එනිසා ඒ වීරත්වය සදාකාලිකය. ඔවුන් කරනුයේ අපට කළ නොහැකි දේමය. ඉන් එහා කිසිවක්ම කිවයුතු නැත. එහෙයින් මින් ඉදිරියටවත් නිල ඇඳුමින් රාජකාරියක නිරත හමුදා සෙබළකුට පහර දීමට පෙර සමස්ත පොලිස් නිලධාරීන්ම දවරක් කල්පනා කරන්නේ නම් ඉන් මේ රටට යහපතක්ම සිදු වනු ඇත.

කෙසේ වෙතත් වැරදි සිදුවන්නේ මිනිසුන් අතිනි. මෙම සිද්ධිය සිදුවන මොහොත වන විට එම ස්ථානයේ සිටි සියලූම පොලිස් නිලධාරීන් මානසිකව සහ කායිකව දැඩිසේ වෙහෙසට පත්ව සිටි බව අමුතුවෙන් කිවයුතු නැත.

එවන් අවස්ථාවකදී යමෙකු අතින් වරදක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. බොහොදුරට මෙහිදී එවැන්නක් සිදුවූවාද විය හැකිය. එහෙයින් මේ සම්බන්ධයෙන් මොන පරීක්‍ෂණ සිදු කෙරුණද කසිවකුගේ රැකියාවන්ට එය බාධකයක් නොවන්නේ නම් එයද ඉතාම යහපත්ය.

ති‍්‍රවිධ හමුදා සහ පොලිසිය ඇතුළු රජයේ සියලූ ආරක්‍ෂක අංශයන්හි මිත‍්‍රත්වය සහ අන්‍යොන්‍ය සබඳතා ශක්තිමත් වීමටද එය හේතුවක් වනු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment