පාර්ලිමේන්තුව – ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුව කටයුතු කරද්දී විපක්‍ෂයෙන් සහයෝගයක් නෑ – අගමැති දිනේෂ් ගුණවර්ධන

89

වත්මන් ආණ්ඩුවට රට ගොඩගන්න බෑ සියල්ල විනාශ කරලා ඉවරයි – ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ)
විදේශ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ලැබීම 50%කින් අඩුවෙලා – කුමාර වෙල්ගම (සජබ)
අල්ලස් කොමිසම පවතින ආණ්ඩුවේ රූකඩයක් – විජිත හේරත් (ජාජබ)
බදු ඉවත්කර හෝ තාක්ෂණවේදීන් රට හැරයෑම නැවැත්විය යුතුයි – රෝහිත අබේගුණවර්ධන (ශ්‍රීලපොපෙ)
ජනවාර්ගික ප්‍රශ්නයට චන්ද්‍රිකා ගෙනා විසඳුම් එදා රනිල් ඇතුළු පිරිස ඉරලා පිච්චුවා – චන්දිම වීරක්කොඩි (ශ්‍රීලපොපෙ)

ඉතිහාසයේ කිසිදිනෙක මතු නොවූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුව කටයුතු කරගෙන යන මොහොතක ඊට සහයෝගය ලබාදීමේ ඕනෑකම විපක්ෂයෙන් ප්‍රකාශ වෙන්නේ නැතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, කාරක සභා වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු දීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමු දිනට විවාදය ආරම්භ විය.

ඒ අනුව ජනාධිපති, අගමැති, උපරිමාධිකරණවල විනිශ්චයකරුවන්, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු සභානායක කාර්යාලය, පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය, විපක්ෂ නායක කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විඝණන කාර්යාලය, පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, සීමා නිර්ණය කොමිෂන් සභාව යන ආයතනයන්හි වැය ශීර්ෂයන් පිලිබඳ විවාදය ආරම්භ කරමින්,

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (ස.ජ.බ) :

වත්මන් ආණ්ඩුව පත් කරන්න වැඩ කරපු හැමදෙනාම ජනතාවගෙන් සමාව ගන්න ඕන. ආණ්ඩුවට කඩේ ගිය නිලධාරීන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් වගෙ අය. අපේ ආගමේ හැටියට පව් සමා කරගන්න බෑ. නමුත් එක තැනක් තියෙනවා ඒ තමයි කැලණිය. කැලණියට ගියොත් පව් සමා කරගන්න පුළුවන් මොකද උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය ආයතන, සියල්ලම ගිහින් සමාව ඉල්ලන්න ඕනේ. අද ආණ්ඩුවට ගමට යන්න බෑ. ඒ නිසයි ඡන්ද කල් දාන්නේ. මැතිවරණ කල් දාපු හැම ආණ්ඩුවක්ම හොඳ හැටි පාඩම් ඉගෙන ගත්තා. මැතිවරණ කල් දාන්න සූදානම් වෙන්න එපා. එහෙම කෙරුවොත් මේ රටේ විශාල පිපිරීමක් ඇතිවෙනවා. අකමැත්තෙන් හරි අපිටත් ඒකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා.

මම අද කතා කරන්න ආවෙ ස්වාධීන කොමිෂන් සභා ගැන. ව්‍යවස්ථාදායක සභාව ගැන. අපි වසර තුනක් සටන් කෙරුවා මේවා ඇති කරන්න. කතානායකතුමා ඉඩ දුන්නේ නෑ මේවට. ස්ථාවර නියෝග අත්හිටුවලා විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ගෙනාවා. පාර්ලිමේන්තුවට ගේනකම් කවුරුත් දන්නෑ. බලයෙන් මත් වෙලා මෙහෙමයි වැඩ කළේ. පිස්සු හැදිලා උමතුවෙන් හිටියේ. අපි සංශෝධන හතළිහක් ගෙනාවා එදා. නමුත් අලි සබ්රි මැතිතුමා සියල්ල ප්‍රතික්ෂේප කළා. ඊයෙ මෙතන මහා උජාරුවට කතා කළා. නමුත් අරගලය කාලේ මෙතන ඇඬුවා. මන්ත්‍රීකම එපා, ඇමතිකම් භාරගන්නෙ නෑ, මේවා දාල යනවා කිව්වා.

වත්මන් ආණ්ඩුවට රට ගොඩ ගන්න බෑ. සියල්ල විනාශ කරලා ඉවරයි. මොනවද තවත් ඉතුරු වෙලා තියෙන්නේ? කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. සමහර මන්ත්‍රීවරුන් ඉන්නවා ස්වාධීන කොමිෂන් ඇති කරන්නත් ඡන්දය දුන්නා. නැති කරන්නත් දුන්නා. ටයි කෝට් දාගෙන ජනාධිපති නීතිඥවරු කියාගෙන එනවා. නමුත් වැඩක් නෑ. හැරෙන හැරෙන පැත්තට ඡන්ද දෙනවා. ලැජ්ජාවට දැන් පාර්ලිමේන්තුවට එන්නෙත් නෑ.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා: අපි එක්වෙන්නේ විශාල අර්බුදකාරී අවස්ථාවකට රට මුහුණ දෙන ප්‍රශ්නය හමුවේ, ඉදිරියට ගමන් කරන රජයක් හැටියට. ඊයේ දිනයේ අප ඉදිරිපත් කරන අය වැය ලේඛනයට අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ලබා දීමෙන් පසුවයි. අපි මෙසේ එක්වන්නේ. අපි මුහුණ දෙන අර්බුදයෙන් එහාට එන්න ඉතා පැහැදිලිව නාස්තිය නවතා කටයුතු කළ යුතුයි. අපි කරන වැය අඩු කර ගත යුතු බවත්, ප්‍රධාන කේන්ද්‍ර පියවරක් හැටියට ගනිමින් තිබෙනවා. අය වැය ලේඛනයේ. ජනාධිපතිතුමා එය ඉදිරපත් කරන අවස්ථාවේදීත් සඳහන් කළා. ගෙවී යන මේ වසරේ, පසුගිය මාස කීපය තුළ අප සියලු දෙනා මුහුණ දුන්නු අතිශය දුෂ්කර කාල පරිච්ඡේදය පිළිබඳව ආවර්ජනය කිරීම. කිලෝමීටර ගණනන් දිග ඇදුණු තෙල් පෝලිම, කිරි පිටි, අනෙකුත් ආහාර ද්‍රව්‍ය, පෝර හිඟය, තැන් තැන්වල තාවකාලිකව පැවති විවිධ ගැටුම්, විදුලිය, ගෑස්, පොහොර වැනි අර්බුද හරහා අප ගත කරපු කාල පරිදච්ඡේදය සිහිපත් කරනවා. අවසානයේදී රට ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ වෙනත් මාර්ගයකට ගෙන යන්නට තීරණාත්මක නව වසරේ ඇතුළත් කර ගැනීමට, පෙරළා දමා ගැනීමට ඇතිවුණු අර්බුදය ඔබට සිහිපත් කරනවා.

ඒ වෙනුවෙන් නිහඬතාවයෙන් පසුවෙච්චි විරුද්ධ පක්ෂය කුමක්ද බලාපොරොත්තු වුණේ. නිහඬතාවයෙන් ඔවුන් බලාපොරොත්තු වුණේ රටේ පාලන තන්ත්‍රයේ වෙනසක් ඇතිකර ගැනීමේ අවස්ථාවට පිවිසෙන්න පුළුවන් කියලා. එහෙම හැසිරුණු විපක්ෂයක් තමයි අද මේ නැගිටලා කතා කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා කැප වුණු අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හා අපේ නායක නායිකාවන් මන්ත්‍රීවරු සියලු දෙනා එකතු වෙලා ඉටුකළේ මේ රට 91ක් වසරක් තිස්සේ භුක්ති විදින සර්වජන ඡන්දය හා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීමයි. ඡන්දය ගැන කතා කරනවා. ඡන්දයෙන් ආපු මේ ආයතන ආරක්ෂා කරන්න නැගිටලා කතා කළේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය හැටියට අපි විශ්වාස කරනවා මැතිවරණයකට පැමිණ, මහජන මතය සමඟ ඡන්දයකින් පත්වෙලා පාර්ලිමේන්තුවට පැමිණීමට. මුදල් කොමිසම වෙන්කරන විශාලතම මුදල් ප්‍රමාණයක් යන්නේ පළාත් සභාවලට. ඉතිහාසයේ කවදාවත් නොවැටුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඉදිරිපත් කොට කටයුතු කරගෙන යන ක්‍රියාමාර්ගයට ඔවුන්ගේ සහයෝගයක් ලබාදීමේ ඕනෑකම ප්‍රකාශ වෙන්නේ නෑ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රාවුෆ් හකීම් (සජබ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමහර තරුණයන් නිදහස් කිරීමට උපදෙස් දුන් බව ජනපති කිව්වා. ඒ කාලයේ නාමල් කුමාර, අමිත් වීරසිංහ කියලා පුද්ගලයන් මතුවුණා. ඔවුන් කොහෙද ඉන්නේ කියලත් හොයන්න.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන (ශ්‍රී.ල.පො.පෙ)

එදා ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරයා නිල නිවසෙන් ගියේ නැත්නම් ජීවිතය නැති වෙනවා. එතුමා ගිය නිසයි ජීවිතය බේරුණේ. මේ රටේ තිබුණු තත්ත්වයත් එක්ක රනිල් වික්‍රමසිංහ ජනපති නොවී වෙන කෙනෙක් ජනපති වූවානම් මේ වනවිට රට විනාශයි. කැලෑ නීතියට ඔහුට යටත් වෙන්න වෙනවා. මේ අරගලය අවසානයේ පාර්ලිමේන්තුවට එන විට තමයි ජනපති අරගලය නැවැත්තුවේ.

මහින්ද රාජපක්‍ෂ ජනපති කිව්වා ගෝඨාභය ජනපතිට අරගලයට මුහුණ දෙන්න කියලා. වත්මන් ජනපති අලුත් හමුදාවක් ගෙනල්ලා අරගලයට මුහුණ දුන්නේ නෑ. හිටපු ආරක්‍ෂක අංශමයි මැඩ පැවැත්වූයේ.

දේශපාලනයේ සදාකල් මිතුරෝද නැත. හතුරෝද නැත. අපි ඉන්න කඳවුර ආරක්‍ෂා කරනවා. රටට ඇත්ත කිව යුතුයි. ජනපති එය ඉටු කරනවා.

රජය සතු ආයතනවලින් පාඩුව බිලියන 86 ක් කියලා ජනපති කිව්වා.

අපේ රටේ විදේශිකයන් රැකියා කරනවා. ඔවුන් බදු රහිත වැටුප් ගන්නේ. ඔවුන්ගෙනුත් බදු අය කරගන්න. වැඩිම පඩි ඔවුන් ගන්නවා. වැටුප් වලින් සියයට 36 ක් බදු ගහන නිසා විශාල පිරිසක් රට හැර යනවා මේ ගැන බලන්න.

තොරතුරු තාක්‍ෂණයෙන් ආදායම ඩොලර් මිලියන 1200 ට වැඩියි. තේ අපනයනයෙන් ලැබෙන ආදායමත් වැඩියි. තොරතුරු තාක්‍ෂණයෙන් ඉන්දියාව ඉතා දියුණුයි. ඒ නිසා ලංකාවේ ඉන්න මෙම අංශයේ අය රැකගත යුතුයි. බදු ඉවත් කර හෝ ඔවුන් රැකගන්න. ඔවුන් රට හැර ගියොත් අපට කිසිවක් කරගන්න බැරිවේවි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම (සජබ)

පිටරට රැකියා කරන අය කළමනාකරණය කළහොත් අපට ඔවුන්ගෙන් ඩොලර් ගෙන්වා ගත හැකියි. රට වැටිලා තියෙන හැටි ඔවුන් දන්නවා. විපක්‍ෂය හා ආණ්ඩුව එකතු වුණොත් ඔවුන්ට විශ්වාසයක් ඇති වෙනවා. මේවාට කිළිටි නැති නිලධාරීන් පත් කරන්න.

අපේ දරුවෝ පිටරට යනවා ඉගෙන ගන්න. රුපියල් කෝටි ගණන් වැය වෙනවා. අපිට බැරිද පිටරට දරුවන් මෙහෙ ගෙනල්ලා විශ්වවිiාල දාලා උගන්වන්න.

උද්ඝෝෂණ අවුරුද්දකට දෙකකට නවත්වලා රට ගැන හිතන්න. සංචාරකයො ආවොත් තමයි ඩොලර් ලැබෙන්නේ. විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලර් ලැබීම් සියයට 50 කින් අඩුවෙලා. ඔවුන් සල්ලි එවන්නේ උන්ඩියල් ක්‍රමයටයි. වහාම වැඩි මුදලක් ලබාදී ඒ මුදල් බැංකු වලට ලබාගන්න.

වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

අනුර දිසානායක මහතා ජපන් සමාගමකින් අල්ලස් ගත් බවට කළ චෝදනාව සම්පූර්ණයෙන්ම වැරදියි.

මාව හිටපු ජනපති ඉවත් කළෙත් නෑ. මමයි ඉවත් වුණේ. අනික විනිසුරු පත් කළේ ජනාධිපතියි. ඒ කමිටුව ස්වාධීනව වාර්තාවක් දුන්නා. ජනපතිවරයා ඉතා ශක්තිමත්ව සිටිමින් පරිනතව කටයුතු කරනවා. එනිසා ආර්ථිකය දැන් යථාවත් වෙමින් පවතිනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ නොදී නැගී එන ත්‍රස්තවාදය නැති කරන්න කටයුතු කරන බව ජනපති කිව්වා. අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළා. මනාප ක්‍රමය නැති කර හොඳ මැතිවරණ ක්‍රමයක් හදන්න ජනපති කැපවී සිටිනවා. අපි හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කළ යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි (ශ්‍රීලංපො.පෙ)

එදා චන්ද්‍රිකා කුමාරතුංග ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ගෙනාපු වෙලාවේ විපක්‍ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස විසඳුම් ඉරලා පිච්චුවා. ඔහුම අද යළි විසඳුම් යෝජනා කරනවා.

ජනාධිපතිවරයා අවංකව කැපවන බව සියලු දෙනාටත් වඩා ඉදිරියෙන් තහවුරු කළ යුතුයි. ජනපති පත්වෙන විට ඡන්ද 136 ක් ලැබුණා. එය 121 ට අඩුවෙලා.

අද ණය වාරික ගෙවන්නෙ නැතිවත් බෙහෙත්, ඉන්ධන නැව් එළියේ තියෙනවා ඩොලර් හිඟවීම නිසා. රටේ ආර්ථිකයේ තිබෙන අවදානම එයින්ම තහවුරු කරගත හැකියි.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

ම්ලේච්ඡත්වයට රැගෙන ගිය රටක් අද පාරේ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් පවතිනවා. ආයතන දෙකක් ප්‍රතිව්‍යුහගත කරනවාට විරුද්ධව කතා කළත් අයවැයට පක්‍ෂව සමහරු කතා කළා. එහෙත් කවුරුත් මේ අයවැයට විකල්ප යෝජනා කිසිවක් ඉදිරිපත් කළේ නෑ.

අපි ගන්න ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ නිසා පැවැති අර්බුදයට විසඳුම් ලැබුණා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අවශ්‍ය සාකච්ඡා දැනටමත් පවත්වනවා. දූෂණ විරෝධී පනතක් පාර්ලිමේන්තුවට ගේනවා. ඒවා ජාත්‍යන්තර මට්ටමේ එකක් විය යුතුයි. එය දැනට පවතින ප්‍රශ්නවලට පිටිවහලක්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් (සජබ)

කොළඹ පුරාම පදිංචිකරුවන්ගේ පුද්ගලික තොරතුරු පොලිසිය ගන්නවා. එයින් දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනවා. මෙහෙම කරන්න එපා. තොරතුරු ගන්න එක නවත්වන්න. පොලිසියට දෙන තොරතුරු වෙනත් පාර්ශවවලට යනවා. වැරදි කරපු අය ඉන්නවා නම් අත්අඩංගුවට ගන්න.

මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස්

ඔය තොරතුරු ගන්න එක අලුත් එකක් නොවෙයි. පිටින් ඇවිත් ඉන්න අය ලියාපදිංචි කරනවා. දෙමළ ගෙවල්වල පමණක් නොවෙයි හැම

ගෙදරකම සිදු කරනවා.

මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා

කොළඹ ජනයා ඉලක්ක කරගෙන කරන එකක් කියලා මම චෝදනා කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

අරගලය ඕපපාතිකව ඇතිවූවක් නොවෙයි. ජනාධිපතිවරයා පලවා හරින්නයි අරගලය ආවේ. අරගලයට පිං සිද්ධ වෙන්න රනිල් ජනපති වුණා. ඔහු හරිනම් අරගලකරුවන්ට උදේ හවා මල් තියලා පහන් කියලා වඳින්න ඕන. එහෙම කෙනා අරගලය මර්දනය කරපු තැන් තියෙනවා.

ජාතික ප්‍රශ්නය විසඳීමට යහපාලන ආණ්ඩුවට උවමනාවක් තිබුණේ නෑ. ජිනීවා වලට පෙන්වන්න කමිටු හැදුවා එපමණයි. ජනපතිවරයා කරන්න යන්නේ ප්‍රෝඩාවක්. ජාරත්‍යන්තරයට බොරුවක් පෙන්වන්න යන්නේ.

රටේ ජනාධිපතිවරු ස්ත්‍රී දූෂණයන්ට මැරයන්ට ජනපති සමාව දුන්නා. ඒත් රංජන් රාමනායකට නිසිපරිදි පොදු සමාව දුන්නේ නෑ. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නෙ සියල්ල වෙනස් වන ව්‍යවස්ථාවක්. හැම දේම වෙනස් විය යුතුයි. නිශ්චිත කෙටුම්පතක් මත දේශපාලන මතවාදය ඇති කරලා සංශෝධනය කරමු. අල්ලස් කොමිසම පවතින ආණ්ඩුවේ රූකඩයක්. පත් කරන්නේ තමන්ට හිතවත් අධිකරණයේ හිටපු අයයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම (සජබ)

දැන් තෙල් පෝලිම් නෑ කියලා ආණ්ඩුව කියනවා. තෙල් පෝලිම් ඇති කළේ කවුද ඔවුන්මයි. අපි නොවෙයි.

මේ රට බංකොලොත් රටක් කළේ ගෝඨාභය රාජපක්‍ෂ පාලනයයි. වෙන කවුරුත් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට 19 හා 20 වන සංශෝධන ගෙනාවා. යහපාලනය ඇති කළේ අපේ කාලයෙයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

ආණ්ඩුව විවේචනය කරන කිසිවෙකුට විකල්ප යෝජනා නෑ. හැමෝම විවේචනය කරනවා විතරයි. බලය ලැබුණත් කරනවා කියන එක විසඳුමක් නොවෙයි. අභියෝගාත්මක මොහොතක හැමෝම කර අරිද්දී රනිල් වික්‍රමසිංහ මහතා විතරයි අභියෝගය භාර ගත්තේ.

එදා පෝලිම්වල මිනිස්සු මැරුණා. තෙල් නෑ. ලයිට් කැපුවා. මේ ප්‍රශ්න දන්න නිසා කවුරුවත් භාර ගත්තේ නෑ.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි (සජබ)

විධායකය, අධිකරණය හා ව්‍යවස්ථාදායකය එකට හිටියානම් මේ රට හොඳට ගොඩනගන්න තිබුණා. රටේ අවාසනාවකට එහෙම එකතු වුණේ නෑ.

ගොවිතැනට අවශ්‍ය පොහොර ටික නෑ. මේ කාලයේ මඩ පොහොර ලැබිය යුතු වුවත් තවම නෑ. අද ගෑස් තියෙනවා කිව්වත් මිලදී ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. ඇත්ත කතා කරන්න ආර්ථිකය විනාශය කරා තව තවත් යනවා. ජනතාවට පීඩාවට පත්වෙනවා. රටේ ජනතාවට හකුලා ගන්න කියලා ජනපති වැය ශීර්ෂය විතරක් විශාල ලෙස වැඩිකරගෙන.

පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ)

මේ වසරේ රුපියල් බිලියන 3044 ක් ලබන වසරට බිලියන 7008 ක් ජනපති වැය ශීර්ෂයට වෙන්කළා. ක්‍රමයෙන් වැඩිවෙලා. බංකොලොත් රට ගොඩනැගීමට ජනපති දෙන ආදර්ශය මේකද. අමාත්‍ය මණ්ඩලයේ වැය ශීර්ෂයන් වැඩි කරලා.

ජනපති පෙනී හිටිය ප්‍රතිපත්තිය කුමක්ද ජනපති අමාත්‍යාංශ නොදැරිය යුතු බවයි. එහෙත් අද මුදල් අමාත්‍යාංශයත් දරනවා වහාම ආපසු හැරී බලන්න.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ආණ්ඩුවලට තියෙන්නේ නරක ප්‍රතිරූපයක්. වත්මන් ජනපති අගමැතිව සිටි 2001 හා යහපාලන ආණ්ඩු සමයේ රාජ්‍ය ආයතන රැසක් වික්කා. යාළුවන්ට බිස්නස් බෙදුවා. කාලයෙන් කාලයට එන පාලකයන් ඕන ඕන විදිහට ආයතන වික්කා. රක්‍ෂණ සංස්ථාව යටතේ තියෙන ආයතන ලාභ ලබනවා. පොහොට්ටුවට ඡන්දය දුන්නේ හිස් චෙක් එකකට වගේ නෙවෙයි. සමාජ සම්මුතියකට අනුවයි. ඒ සම්මුතියට අනුව රාජ්‍ය ආයතන විකුණන්නේ නෑ කියලා තියෙන්නේ. ඒ සම්මුතිය කඩ කරන්න එපා. ජනපතිට ජනතාව සම්මුතියක් දීලා නෑ. සමහරු පාර්ලිමේන්තුව සැහැල්ලුවට අරගෙන. මන්ත්‍රීවරයකුට අත්‍යවශ්‍ය කාරණයක් කතා කරන්න බැහැ. ඇමැතිවරුන්ට වෙනම ඉඩක්. ඔවුන්ට වැඩි වරප්‍රසාද පාර්ලිමේන්තුවේ දියයුතු නැහැ. එක සමාන 225 ක් ඉන්නේ සැමට සමාන වරප්‍රසාද හිමිවිය යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ)

පොලිස් කොමිසම ඇතුළු කොමිෂන් ගැන ජනතා විශ්වාසය දැන් බිඳ වැටිලා. පොලිස් කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීන් දෙදෙනකු බැසිල් රාජපක්‍ෂ පිළිගන්න ගුවන් තොටුපලට යෑම පිළිගන්න බැහැ. අල්ලස් කොමිසමේ තොරතුරු ඉල්ලලා අවුරුද්දක් විතර වෙනවා. තවම කිසිම ප්‍රතිචාරයක් නැහැ.

(පාර්ලිමේන්තුව අද 24දා පෙරවරු 9.30ට යළි රැස්වේ.)
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment