පාර්ලිමේන්තුව ඇරඹෙන තෙක් ‘හොරුගෝගම’ නැහැ – අන්තරේ කැඳවුම්කරු

363

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ශිෂ්‍යයන් විසින් පාර්ලිමේන්තුවට පිවිසෙන දියත උයන අසල පොල්දූව හන්දියේ ‘හොරුගෝගම’ ලෙස පුවරුවක් සවිකර ආරම්භ කළ විරෝධතාවය නැවත පාර්ලිමේන්තුව රැස්වන මැයි මස 17 වැනිදා සිට ආරම්භ කරන බව එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට විරෝධය පළ කරමින් ඉකුත් 05 වැනිදා පොල්දූවේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල ආරම්භ කළ විරෝධතාවයට පොලිසිය කදුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට උත්සාහ ගැනීමෙන් පසු එදින රාත්‍රියේ සිට පොල්දූව හන්දියේ සිට අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පියවර ගත්හ.

ඒ අනුව ඉකුත් 06 වැනිදා උදෑසන සිට ‘හොරුගෝගම’ නමින් විරෝධතා කලාපයක් ආරම්භ කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට විරෝධය පෑමේ උද්ඝෝෂණයක් ආරම්භ කෙරිණි.

එය විසුරුවා හැරීමට ද පොලිසිය විසින් 06 වැනිදා සවස ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරිණි.

මේ අතර පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා දක්වා කල්තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගැනීමත් සමඟ තම විරෝධය ද අත්හිටුවූ බවත්, නැවත පාර්ලිමේන්තුව රැස්වන දින සිට මන්ත්‍රීවරුනට එරෙහිව ‘හොරුගෝගම’ විරෝධතා කලාපය ආරම්භ කර අඛණ්ඩ විරෝධතාවක නිරත වන බවත් වසන්ත මුදලිගේ මහතා සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment