පාර්ලිමේන්තුව – ක්‍රිකට් අර්බුදය ඔළුගෙඩි මාරුවලින් විසඳන්න බැහැ – ඇමැති අලි සබි්‍ර

56

අයි.සී.සී.යට අභියෝග කරන්න අපිට බැහැ අපිව සත පහකට ගණන් ගන්නේ නැහැ
ඇමැති හරින් ප්‍රනාන්දු
ක්‍රිකට්වලට අරක්ගත් කල්ලි කණ්ඩායම්වලින් ක්‍රීඩාව බේරාගත යුතුයි
විජිත හේරත් (ජාජබ)
ක්‍රිකට් බෝඩ්එකේ වැටුප් ලබන ආණ්ඩු පක්‍ෂ පිරිසක් ඉන්නකොට සාධාරණයක් වෙයිද?
හේෂා විතානගේ (සජබ)

ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවී තිබෙන අර්බුදය පරිපාලනයේ ඔළුගෙඩි මාරුවකින් විසඳිය නොහැකි බවත් ඒ සඳහා සිස්ටම් චේන්ජ් එකක් විය යුතුම බවත් විදේශ ඇමැති අලි සබි්‍ර මහතා ඊයේ (18දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සංචාරක කටයුතු පනත යටතේ පළ කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍ර කිහිපයක් හා තවත් නියෝගයන් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා,

විදේශ ඇමැති අලි සබි්‍ර

පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව ක්‍රිකට් ප්‍රශ්නය ඔළුගෙඩි මාරු කරලා විසඳන්න බෑ. සිස්ටම් චේන්ජ් එකක් විය යුතුමයි. ක්‍රිකට් සඳහා දක්‍ෂ පරිපාලන නිලධාරීන්, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්ලබ්වලින් තෝරාගත් අය ඇතුළු සමතුලිත නියෝජනයක් ක්‍රිකට් පාලනයට අවශ්‍යයි.

මේ ප්‍රශ්නය ඇතිවූ අවස්ථාවේදී ගිය වසරේදී කැබිනට් කමිටුවක් පත් කළා. එහි සභාපති වූයේ මම. අපි 38 දෙනකු පමණ සාකච්ඡා කරලා පිටු 48ක වාර්තාවක් දුන්නා. සම්පූර්ණයෙන්ම හොඳ පරීක්‍ෂකයන් හා ක්‍රිකට් පරීක්‍ෂකයන් එක් කරලා කළමනාකරණයට එක් කළ යුතුයි. ඊට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි. පාර්ලිමේන්තුවට අලුත් නීතියක් ගෙන ආ යුතුයි. කැබිනට් එක චිත්‍රසිරි කමිටුව පත් කළා. එම වාර්තාවට අනුව ඔවුන් ව්‍යවස්ථාවක් සකස් කර තියෙනවා. 18 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් පත් කරනවා. 9 දෙනකු තෝරාගත යුතුයි. ඉන් පස් දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන් විය යුතුයි. සෙසු අය නීතිය, ආර්ථිකය, කළමනාකරණය ගැන පුළුල් දැනුමක් ඇති අය විය යුතුයි. ඔළුගොඩි මාරු කරලා ක්‍රිකට් හදන්න බැහැ. පුද්ගලයා දෙස නොබලා ක්‍රිකට් ක්‍රීඩාවේ උනන්තිය උදෙසා ක්‍රියා කළ යුතුයි. මීට වඩා ක්‍රිකට් පහළට යා යුතු නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් හි ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ඔවුන් මෙය කවදාවත් කරන්නේ නෑ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතාන (ස.ජ.බ.)

මේ මොහොත වනවිටත් ක්‍රිකට් බෝඩ් එකෙන් එක එක අකාරයෙන් වැටුප් ලබන ආණ්ඩු පක්ෂයේ පිරිසක් ඉන්නවා. එයාලගෙන් සාධාරණ ප්‍රකාශයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. මේ මොහොතේත් මට විරුද්ධව වාරණ නියෝගයක් අරගෙන කතා කරන්න දෙන්නේ නෑ.

පනත් ගේනවා. ඒ ගැන ජනතාවගේ විශ්වාසයකුත් නෑ. පනත් අනුව නොවෙයි ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වන්නේ. රග්බි, පාපැදි, දැල්පන්දු හා මෝටර් රථ සම්මේලන මේ වන විට ඇමැතිවරයා අත්හිටුවා තියෙනවා. ඊට හේතුව වාර්ෂික සාමාජික රැස්වීම්වලදී මූල්‍ය වාර්තා සම්මත කර නොගැනීම වැනි හේතු නිසයි. නමුත් ක්‍රිකට් ආයතනය මීට සම්බන්ධයි. අද වනතුරු ක්‍රිකට් ආයතනයේ මූල්‍ය වාර්තා

සාමාජිකයන්ගෙන් අනුමත කරගෙන ලබා දෙන්න නොහැකි වී තිබෙනවා. ඊට හේතුව විගණකාධිපති වියදම් පිළිබඳව ප්‍රශ්න කළ ඒවාට සාමාජිකයන්ට උත්තර දීගන්න බැරි වීම නිසයි.

ඇමැති හැම ක්‍රීඩා සංගමයක් ගැනම සමානව හිතනවා නම් අද වන විට ක්‍රිකට් ආයතනයත් මේ වන විට විසුරුවා හැර තිබිය යුතුයි. එය වන්නේ නෑ. මුදලාලිලා ටිකක් ක්‍රිකට්වලින් බිහි වෙලා. ඔවුන් හැම ආයතනයක්ම සල්ලිවලට අරගෙන.

අද ක්‍රිකට් දේශපාලනය මුල් බැහැගෙන. මේ මාස තුනේ ගේම් එක ගහගෙන ගිය හැකියි.

ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු

ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ ක්‍රිකට් නොවෙයි. ක්‍රීඩා 73ක් අයිතියි. පසුගියදා රෙගුලාසියක් දැම්මා අවුරුදු 16ක් සංගමයක හිටියොත් නැවත සභාපති වෙන්න බෑ. ශම්මි සිල්වා අවුරුදු 16ක් ඉඳලත් ඉවරයි. ඊගාව මැතිවරණය ඔහුට ඉල්ලන්න බෑ. මේ තියෙන්නේ පෞද්ගලික වෛරයක්.

කොහෙවත් යන බර කරත්තයක් මාගේ පිට වැටිලා. මම එනවිට සංගම් ගොඩක් වැහිලා තිබුණා. දැන් එකක්වත් වැහිලා නෑ. දිනනකොට ක්‍රීඩකයෝ හොඳයි. පරදිනකොට ඇමැතියා. පුදුම තත්ත්වයක් තියෙන්නේ.

ක්‍රීඩා සංගම්වල තියෙන්නේ හැමදාම බලයේ ඉන්න බලන ගේමක්. එය ක්‍රිකට්වලට පමණක් පොදු නෑ.

චිත්‍රසිරි කමිටු වාර්තාව අපි සම්මත කරනවා. දේශපාලනය අතගහන හැම ක්‍රියාවක්ම විනාශයි. පාකිස්තානයේ ක්‍රිකට් සභාපති පත් කරන්නේ අගමැති. පාකිස්තානය පළමුවැනි වටයෙන්ම ගියා. පාකිස්තානයේ ක්‍රිකට් සභාපතිවරු 6ක් පසුගිය මාස කිහිපයට ආවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අයි.සී.සී. එකට අභියෝග කරන්න බෑ. අපිව සත පහකට ගණන් ගන්නේ නෑ. අපි උඹලාට සල්ලි එවන්නේ අපිට කොහොමද අභියෝග කරන්නේ කියලා අයි.සී.සී. එක කියනවා. කියන්න පුළුවන් ක්‍රමය අපි නීතියෙන් හදනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජා.ජ.බ.)

දේශපාලනයෙන් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ගෙනයෑමට ක්‍රමයක් හදන බවට ආණ්ඩුව මීට පෙර පොරොන්දු වුණා. 2023 මාර්තු චිත්‍රසිරි වාර්තාව ඉදිරිපත් වුණා. රොෂාන් ඇමැති කාලයේ ක්‍රියාවට නැංවූයේ නෑ. කල් ඇද ඇද තිබුණා.

කැබිනට් අනු කමිටුවක් පත් කරලා වාර්තාවක් දුන්නත් එය නොමැතිව යළිත් චිත්‍රසිරි කමිටුවට ගියා. එය පනතක් විදිහට ගේන්න තීන්දු කළා. ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගත යුතුයි. ඒ පනතට අනුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට වගේ ක්‍රිකට් පාලනයට සම්බන්ධ වෙන්න බෑ. එය වගන්තියකින්ම නතර කරලා තියෙනවා. එය හොඳයි. ක්‍රිකට්වලට අරක්ගත් කල්ලි කණ්ඩායම්වලින් ක්‍රීඩාව බේරාගත යුතුයි. අනෙකුත් ක්‍රීඩාවලත් මෙහෙම තමයි. දේශපාලනඥයන් ඊට මැදිවෙලා.

ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක

අපේ ක්‍රීඩාවට මීට පෙර දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවුවත් දැන් ඒ තත්ත්වය ඇමැතිවරයා වළක්වා තිබෙනවා.

අපේ රටේ පුරවැසියා ආරක්‍ෂිත බව ලොවට පෙන්වා තිබෙනවා. එය ජනාධිපතිවරයා රටට කළ ඉතා හොඳ පියවරක්. සංචාරක ක්‍ෂේත්‍රයේ ඉතා හොඳ වෙනසක් අද සිදුකර තියෙනවා. පක්‍ෂ බේදයකින් තොරව අද අපි හැමෝටම එය දකින්න තියෙනවා.

පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (ස.ජ.බ.)

අද ක්‍රිකට් නිසා ජනතාව ඉතා කලකිරිලා. නොහිතපු රටවල්වලටත් පරාජය වෙනවා. සමහර ක්‍රීඩාකයන්ගේ ක්‍රියාකලාපය ගැනත් කලකිරෙනවා. 96 ලෝක කුසලානයෙන් පස්සේ මුදල් ක්‍රිකට් ක්‍රීඩාව තුළට කඩාගෙන ආවා. අද වන විට මුදල් හා දේශපාලනය මිශ්‍ර වෙලා. ක්‍රිකට් විනාශ වී ඇති බව ජනතාව විශ්වාස කරනවා.

දේශපාලනය හරහා ක්‍රිකට් අපිරිසිදු වීම වළක්වා නිවැරදි ගමනක් යන්න නීති සකස් විය යුතුයි.

ජාත්‍යන්තර බලපෑම්වලින් ක්‍රීඩාව බේරාගෙන ක්‍රීඩකයන් දක්‍ෂ ලෙස ලොවට ගෙනියන්නේ කොහොමද කියලා සිතා බැලිය යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි (ශ්‍රී ල.නි.ප.)

අද සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ව්‍යාපාරිකයන් අසරණයි. කොවිඩ් නිසා අසරණවූ සංචාරක ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ගේ ණය ගෙවීමට සහන කාලයක් දුන්නත් එය ප්‍රමාණවත් නෑ. අද මහ බැංකුව අඩු කළ පොලිය රාජ්‍ය බැංකු අඩු කර නෑ. සංචාරක කර්මාන්තයේ ව්‍යාපාරිකයන්ට හෝටල් විකුණන්න සිදුවෙලා. වීසා ගාස්තු රහිතව සංචාරකයන්ට රටට ඇතුළුවීමට ඉඩ දෙන්න. මාසයකට පසුව ඉන්න අයට විශාල වීසා ගාස්තුවක් අය කර ගන්න අනෙකුත් අයකිරීම් සිදු කරන්න.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු

සංචාරක ව්‍යාපාරය මේ තැනට ගේන්න හැකි වුණේ ආණ්ඩුව ගත් පියවරයන් නිසයි. ආනයන සීමා කිරීම සංචාරක ව්‍යාපාරයට බලපෑවා. එම බාධා ලිහිල් කර යම් සහන ලබා දුන්නා. බැංකු ණය ගෙවා ගන්න බැරිව සිටි සංචාරක කර්මාන්තයේ නියැළුණු ව්‍යාපාරිකයන්ට සහන දෙන්න ක්‍රියා කළා. අපේ පියවරයන් නිසා සංචාරක කර්මාන්තයෙන් රටට අවශ්‍ය ආදායම ගන්න ක්‍රියා කළා. තව දියුණු කරන්න විවිධ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊට අදාළව සංචාරක ව්‍යාපාරය ගෙනයෑමට අවශ්‍යයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම (ස.ජ.බ.)

අද සංචාරක ක්‍ෂේත්‍රය යම් නැඟිටීමක් තියෙනවා. වන අලි – මිනිස් ගැටුම නිසා වන අලි 450ක් පමණ මියයනවා. මිනිස් ඝාතන 117ක් සිදුවෙලා. වන්දි වශයෙන් රුපියල් කෝටි 27ක් ගෙවලා තියෙනවා.

අලි – මිනිස් ගැටුම නැති කරගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරන පියවරයන් ගැන අපි යෝජනා ඉදිරිපත් කර තියෙනවා. වෙරළ තීරයත් සංචාරක ව්‍යාපාරය දියුණුවට ප්‍රධානයි. බ්ලු ෆ්ලැග් බීච් සහතිකය ජාත්‍යන්තරව ලබා ගන්න අපි පියවර ගත යුතුයි. ඒ ගැන දැඩි අවධානය යොමු කළ යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක ගොඩහේවා

වත්මන් රජය සිදුවන දේ වාර්තා කිරීමට දක්‍ෂයි. ඒත් ඉලක්කගත ගමනක් නෑ. රජය රටේ ප්‍රශ්න කෙතරම් විසඳනවා කිව්වත් අත්‍යවශ්‍ය ප්‍රශ්න තාමත් විසඳී නෑ. ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100කට වැඩි වෙලා. ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 11.5යි තිබුණේ. අද බිලියන 14 පැනලා. ගෙවන්නේ නැතිව සිටි ප්‍රමාණයත් එකතු වෙලා.

සංචාරක ව්‍යාපාරය විසඳා ගන්න පුළුවන් නම් ප්‍රශ්න රැසක් විසඳාගත හැකියි. සංචාරක ව්‍යාපාරය දියුණු වෙලා කිව්වට තාම ඉලක්කගත දියුණුවක් නෑ.

රෙගුලාසි අනුමත විය.

පාර්ලිමේන්තුව අද (19දා) පෙරවරු 9.30ට රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment