පාර්ලිමේන්තුව – කිරිඇල්ලගේ වාහනය ගයන්ත අවභාවිත කරලා – පරීක්‍ෂණයක් කරන්න මුසම්මිල් ඉල්ලයි

239

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට ලබාදෙන වාහනයක් මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් පාවිච්චි කිරීම වාහන අවභාවිත කිරීමක් බැවින් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් කරන්නැයි ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) විශේෂ ඉල්ලීමක් කළේය.

එහිදී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ කීය.

වාහන අවභාවිතාවක් ගැන කියන්නයි මම මේ අවස්ථාව ඉල්ලාගත්තේ. විශේෂයෙන්ම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමාට ලබාදීල තිබෙනවා අච ණශ-3618 කියන වාහනය. ඉතින් මේ වාහනයට සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 117,000 ක විතර ඉන්ධන අරගෙන තිබෙනවා. 2020 සැප්තැම්බර් මාසයේ ඉඳන්ම මේ වාහනය පාවිච්චි කරලා තිබෙනවා.

හැබැයි මේ වාහනය විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නොවෙයි පාවිච්චි කරන්නේ වෙනත් මන්ත‍්‍රී වරයෙක්. මම දන්න විදිහට ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීතුමා තමයි පාවිච්චි කරන්නේ. එතුමාට එහෙම අයිතියක් නෑ ඒ වාහනේ පාවිච්චි කරන්න. මම ඉල්ලා සිටිනවා මේ ගැන පරීක්‍ෂණයක් කරන්න කියලා. ටයර්, ඉන්ධන පාර්ලිමේන්තුවෙන් ලබාදීම සිදුකරනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම වාහනයක් අවභාවිත කිරීමක්.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා

මම හිතන්නේ අද උදේ පාන්දර අහන්න දෙයක් නැතුව අසනවා වගේයි. එහෙම වාහනයක් තිබෙනවා පාර්ලිමේන්තුවෙන් පඩි ලබන කෙනෙකුගේ නමින් අපි කාර්ය මණ්ඩලයේ උදේ පාන්දර සිල්ලර දේවල් නේ අසන්නේ. තුට්ටු දෙකේ දේවල්. අද පත්තරේ තිබෙනවා පාලක පක්‍ෂයේ ඥාතීන්ගේ ගිණුම්, හෙළිදරව් වෙලා ඒවා ගැන කතා කරන්න.

කථානායක – අනවශ්‍ය විවාදයකට යන්න එපා. ඒ ගැන අපි හොයලා බලන්නම්.

රනිල් වික‍්‍රමසිංහ මහතා – මෙහෙම යෝජනා තිබෙනවානම් එහෙම වාහනයක් පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙනවා නම් හවුස් කමිටුවේදී ඒවා අරගන්න. නැත්නම් වෙන්නේ මේ පැත්තෙන් වාහන ගත්තාම ඒ පැත්තෙන් වාහන ගන්නවා ඒක සභාවට හොඳ නෑ. මේවා වෙනම කතා කරන්න.

මුසම්මිල් මහතා – මම කිරිඇල්ල මන්ත‍්‍රීතුමාට නෙමෙයි දෝෂාරෝපණය කළේ. කිරිඇල්ල මහතාගේ වාහනය පාවිච්චි කරන්නේ වෙනත් මන්ත‍්‍රීවරයෙක්. ඔහුට එය අදාළ නෑ. ඒකයි මම ඇහුවේ.

ගයන්ත කරුණාතිලක මහතා – මගෙත් නම කියැවුණා. මට එහෙම වාහනයක් නෑ. විපක්‍ෂ සංවිධායකතුමාට කාර්යමණ්ඩලයක් තිබෙනවා. ඒ කාර්යමණ්ඩලයේ කෙනෙක් ගැන මේ පොට වරද්දාගෙන කතා කරනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment