පාර්ලිමේන්තුව ගිනි තැබීමේ කුමන්ත්‍රණයක්: ජනපති කැබිනට් මණ්ඩලයට දන්වයි

307

ආණ්ඩුවට එරෙහිව විවිධ පාර්ශ්ව එක්ව විරෝධතා දැක්වූ ඉකුත් කාලයේ පාර්ලිමේන්තුවට ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව තිබී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ අනුව කුමන්ත්‍රණකාරී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී දීර්ඝ ලෙස විමර්ශන සිදුකිරීමට අවශ්‍ය අය හඳුනාගෙන ඔවුන් රඳවා තබාගෙන විමර්ශන පැවත්වීමට ආරක්‍ෂක අංශ කටයුතු කරන බව ද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මැති ඇමැතිවරුන් 72 දෙනකුගේ නිවාස ඇතුළුව ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවාස ගිනිබත් කරමින් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ඉකුත් මැයි මස නවවැනිදා සිදු වූ පැය දොළහේ කුමන්ත්‍රණය පිළිබඳව මේ වන විට ආරක්‍ෂක අංශ පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යන බවද ඇමැතිවරයා පැවසීය.

සිංහල, දෙමළ, මුස්ලිම් හෝ බර්ගර් වේවා සෑම පුරවැසියකුටම තමන්ගේ නිවස තුළ ආරක්‍ෂිතව සාමකාමී ලෙස ජීවත් වීමට අයිතියක් තිබෙන බව කී ඇමැතිවරයා එම අයිතියට අභියෝග කරමින් ඔවුන්ගේ නිවාස ගිනි තබා ප්‍රචණ්ඩත්වය වැපිරීමට කිසිවකු හෝ කටයුතු කරයි නම් ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීමක් රජයට තිබෙන බවද සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (23 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment