පාර්ලිමේන්තුව ම ආණ්ඩුවක් වී අයි.එම්.එෆ් අනුමැති දෙන්න – ජනාධිපති පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

93

රටයි ජනාධිපතියි අපහසුතාවට පත් නොවෙන තීරණයක් සජබ ගන්නවා
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

“ඔයා ජනාධිපති එක්ක වැඩ කරන්න කලින් අපි ජනාධිපති එක්ක වැඩ කළේ හලෝ..
සජිත් ප්‍රසන්න රණතුංගට කියයි

ජනාධිපති කළේ මනෝරාජික කතාවක්
අනුර කුමාර දිසානායක

පක්ෂ විපක්ෂ සියලු දෙනාම එක්වී සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ කටයුත්ත සඳහා අනුමැතිය ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26දා) පෙරවරුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

එලෙස සියලු දෙනා එක්වී රටට ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකසා 2048 වසරේ දී රට හැදීමේ කටයුත්ත වෙනුවෙන් එක් වෙන්නැයි ද ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඉල්ලීය.

මෙම විශේෂ ප්‍රකාශය සඳහා ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ කටයුත්ත සම්බන්ධයෙන් ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස කටයුතු කරමින් ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් පවත්වන දින තුනක විවාදයේදී ජනාධිපති, රජය සහ රට අපහසුතාවට පත් නොවන ලෙස කටයුතු කරන බවය.

විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් පසුව කතා කරමින් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරය සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඊට අමතරව කෝප් සහ කෝප් කමිටුවේ සභාපති ධුරයන් ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන්ට ලබා දුන්නේ නම් ජනාධිපතිවරයා ඉල්ලා සිටින සහයෝගය ලබා දීමට සද්භාවයක් ඇති වන බව ද කීවේය.

එලෙස විපක්ෂනායක අදහස් දක්වද්දී ආණ්ඩු පක්ෂයෙන් ඔහුට විවිධ විරෝධතා එල්ල වූ අතර එවිට විපක්ෂ නායකවරයා, “අහගෙන ඉන්නවා… ජනාධිපති කියපු දේවල් මොන කෙහෙල්මලක්වත් තේරෙන්නේ නෑනේ”, පිස්සුනේ, ජනාධිපතිගේ කතාවේ තේරුම දන්නවාද? මොළේ කළඳක්වත් නෑ” යැයි ආදී ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වෙත අවඥාවෙන් යුතුව කියා සිටියේය.

එහිදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා වෙත විපක්ෂ නායක කියා සිටියේ ඔහුගේ පැටිකිරිය පිළිබඳව ජනාධිපති හොඳින් දන්නා බවය. “ඔයා ජනාධිපති එක්ක වැඩ කරන්න කලින් අපි ජනාධිපති එක්ක වැඩ කළේ හලෝ.. කෙහෙල්මල” යැයිද හෙතෙම කීය. ඔහු විටෙක ධම්මපදයේ ගාථාවක් ද කියමින් ආණ්ඩුවේ ඇතැම් අය දන්න දෙයක් නැතැයි චෝදනා කළේය. එහෙත් පසුව ඔහු ටිකක් කූල් වෙන්නැයි කියමින් සිය අදහස් පළ කළේය.

මේ අතර මූල්‍ය අරමුදලේ වගන්ති, කරුණු කාරණා සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන් මේ වන විටත් අධ්‍යනය කර අවසන් යැයි ද ප්‍රේමදාස මහතා කීය. ජනාධිපතිවරයා සමග වැඩ කර තමනට හොඳ පුරුද්දක් ඇතැයි ද කී ප්‍රේමදාස මහතා ‘ඒ පැත්තෙම අය දින 52 කුමන්ත්‍රණයේදී මෙතුමාව අගමැතිකමෙන් අයින් කරන කොට, මට 71 වතාවක් අගමැතිකම භාර ගන්න කියන කොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැතිකම 71 වතාවක් මම ආරක්ෂා කළා. ඒක කළේ යාළු හිතවත්කමට නොවෙයි… ප්‍රතිපත්ති මත…” යැයි පැවසීය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති කියා සිටියේ විපක්ෂය තමන් සමග එකට වැඩ කරන්න පැමිණිය යුතු බවය.

කෙසේ වෙතත් එහිදී නැගී සිටි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ උත්තර ලංකා සභාගය විපක්ෂ නායක සමග සහයෝගයෙන් සුහදව කටයුතු කළ ද ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත තමන් අනුගමනය නොකරන බවය.

ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ජනාධිපති මනෝ රාජික කතාවක් කළ නමුත් පොළොවේ යථාර්ථය වෙන එකක් බවය. එම දෙක අතරින් දිනෙක ජයග්‍රහණය කරනුයේ පොළොවේ යථාර්ථය බව ද ඔහු සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment