පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

123

වත්මන් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ජනාධිපතිවරයා ඒ පිළිබඳව පක්ෂ නායකයන් ද දැනුවත් කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ තාවකාලික විරාමයක් වන වාරාවසාන කිරීමක්, මාස තුනකට වඩා දීර්ඝ නොකළ යුතුය. කෙසේ වෙතත්, එකී නව ප්‍රකාශයේ දින සිට දින තුනකට නොඅඩු දිනකදී පාර්ලිමේන්තුව කැඳවන්නේ නම්, පාර්ලිමේන්තුව කැඳවීමේ එකී දිනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන වෙනත් ප්‍රකාශයක් මගින් ඉදිරියට ගෙන ආ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (3) වන ඡේදය යටතේ පාර්ලිමේන්තුව වාරාවසාන කරනු ලබන අවස්ථාවකදී, වාරාවසාන කිරීමේ ප්‍රකාශය විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය ගැසට් මගින් දැනුම් දිය යුතුය.

පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමක් අවසානයේ දී නව සැසිවාරය ආරම්භ වන අතර එය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබේ. පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2) පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයාට බලතල ඇත.

නව සැසිවාරයක් ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අතීතයේ එය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමිනි. එය ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසිනි.

1978 සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ප්‍රකාශ විවාදයට ලක් කිරීමක් හෝ ඡන්ද විමසීමකට භාජනය කිරීමක් සිදු නොවේ.

පාර්ලිමේන්තුව වාර අවසන් කළ විට එතෙක් ක්‍රියාත්මක වූ කාරක සභා සියල්ල අහෝසි වේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment