පාර්ලිමේන්තු තේරීම් සභාවක් පත් කර හෝ ගෑස් පිපිරීම් ගැන ඇත්ත සෙවිය යුතුයි – සජිත් පේ‍්‍රමදාස

76

ගෑස් සිලින්ඩර පුපුරායෑම පිළිබඳ රාජ්‍ය ආයතන විසින් කරනු ලැබූ පරීක්ෂණයන් ආශි‍්‍රත කර ගනිමින් අද (29දා) තමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (27දා) පැවසීය.

මේ අතර ගෑස් පිපිරීම් පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇතිවූ කතාබහේදී විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා මේ සම්බන්ධයෙන් සෙවීමට වහාම තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා සිටියේය.

එහිදී ගෑස් කියන්නේ කොහොමත් පුපුරන දෙයක් බවත්, ඒ පිළිබඳව පසුව ප‍්‍රශ්න කරන ලෙසත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්තී‍්‍ර කින්ස් නෙල්සන් මහතාට පැවසීය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්නයකදී එම මන්තී‍්‍රවරයා කළ සඳහනකට ප‍්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව කීය.

කින්ස් නෙල්සන් මහතා – අපේ රටේ ගෑස් සිලින්ඩර හයක් මේ වන විට පිපිරිලා තිබෙනවා. එහිදී මගේ ආසනයේ වයස අවුරුදු 19ක තරුණියක් ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගියා. කොළඹ අවන්හලක ගෑස් සිලින්ඩරයක් පිපිරෙන්න ගිහින් වළක්වා ගත් විදිහක් ගැනත් තොරතුරක් මගේ දුරකථනයේ තිබෙනවා. පොහොර නාටකය වගේ මේකත් දැන් ගෑස් නාටකයක් වෙලා, පෝලිමේ ඉඳලා ගත්තු ගෑස් එක දැන් ගෙදර තියා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා. ගෙදර බෝම්බයක් තියාගෙන ඉන්නවා වගේ.

කථානායක – වෙනම ප‍්‍රශ්නයක් අහන්න ඒ ගැන. ගෑස් කියන්නේ පුපුරන ජාතියක්.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා – මේ ගැන අද දින උදෙත් නිල ප‍්‍රකාශයක් වුණා. ඒක ස්වාභාවිකව සිදුවුණු දෙයක් නොවෙයි. ඒ නිසා ඔය විශ්වාස කරන මිශ‍්‍රණයකින් වුණු දෙයක් නොවෙයි. මන්තී‍්‍රවරයාගේ ප‍්‍රශ්නය ගැන හොයලා වාර්තා කරන්නම්. අපි කවුරුත් කනගාටු වෙනවා ජීවිතයක් නැතිවීම ගැන.

චමින්ද විජේසිරි මහතා- සභානායකතුමා කිව්වට දැන් ප‍්‍රශ්නයක් තිබෙනවා. පාර්ලිමේන්තුවෙත් අපි කෑමට යන්නේ ඔය ගෑස් ටැංකි 10 ක් විතර තිබෙන තැනකින්. මේ ප‍්‍රශ්නය ගැන ඇත්තටම සමාජයෙත් ලොකුභීතියක් තිබෙනවා. දේශපාලන වාසියක් ගන්න නොවෙයි අපි මේ කියන්නේ මේ භය නැති කර ගන්න. අපේ ගෙවල්වලත් ගෑස් එක එළියේ තියලා ආයෙත් හයි කරලා තමයි වැඩ කරගන්නේ. මේ ගැන සාධරණ වැඩපිළිවෙළක් කරන්න.

සභානායක – මේ ගැන පරීක්ෂණයක් කරගෙන යනවා. දැන් කියන දේ නොවෙයි සිදුවෙලා තිබෙන්නේ. රජයේ හදිසි අවධානය යොමු වෙලා මේ ගැන පරීක්ෂණ කෙරෙනවා.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රක්ෂණයක් දෙනවාද මේ ජීවිත නැතිවන අයට බන්දුල ඇමැතිතුමා?

වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා – මේ ගැන පාරිභෝගික කටයුතු ඇමැතිතුමා පැහැදිලි ප‍්‍රකාශයක් කරයි. ඒ නිසා භීතියක් ඇති කර ගන්න අවශ්‍ය නෑ. විද්වතුන් මේවන විට ප‍්‍රකාශයක් කරලා තිබෙනවා ගෑස් ටැංකි පිපිරීමක් සිද්ධ නොවන බවට. විෂය භාර ඇමැතිවරයා ඒ ගැන ප‍්‍රකාශයක් කරයි.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක – රක්ෂණය කියන්නේ ජීවිතයක් නැතිවුණාම ගාණක් ගෙවන එකට.

හේෂා විතානගේ මහතා -මේක රටේ දැවෙන ප‍්‍රශ්නයක්. පාරිභෝගික කටයතු ඇමැතිතුමා නෑ කිව්වාට දැන් මේකෙන් ජීවිත නැති වෙනවා. කොරෝනා හැදිලා එහෙන් මැරෙනවා. ආණ්ඩුව මේ ගැන උනන්දුවක් දක්වලා සහනයක් දෙන්න. මේ ගෑස් තොගය නවත්වලා හරි සහනයක් දෙන්න.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා – මේ ගෑස් ප‍්‍රශ්නය මොනම හේතුවක් නිසාවත් දේශපාලනීකරණය කරන්න බෑ. නමුත් මම අදාළ ඇමැතිවරුන්ගේ අවධානය යොමුකරනවා. අද වන විට ජනතාව තුළ බරපතළ කුතුහලයක්, බයක් අනාරක්ෂිත භාවයක් මේ ගැන නිර්මාණය වෙලා. පෝලිමේ ඉඳලා ගෙදර ගෙනියන ගෑස් සිලින්ඩරය ගැන බරපතළ අනාරක්ෂිතභාවයක් තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා මේ තිබිය යුතු අනුපාතය වෙනස් කරලා කියලා චෝදනා කළා. මේ පනහයි 50 බවට පත් කිරීම නිසා පුපුරනවා කියලා විද්වතුන් කියනවා. ඇමැතිවරයා වෙනත් දෙයක් කියනවා. ඇමැති කියන දෙය ගැන කිසිසේත්ම විශ්වාස කරන්න බෑ. මේක ජාතික ප‍්‍රශ්නයක්. එක පැත්තකින් ගෑස් පෝලිම. අනෙත් පැත්තෙන් ගෑස් සිලින්ඩරය ගැන තිබෙන භයංකාරභාවය. මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක්. මේ ගැන හරවත් පිළිතුරක් දෙන්න රජය කටයුතු කළ යුතුයි. මිනිස්සුන්ගේ තිබෙන බිය සංකා නැති කරන්න රජය පියවරක් ගන්න ඕනෑ. මෙතැන මොකක් හෝ ප‍්‍රශ්නයක් තිබෙනවා. මේ ගැන අපිට ඇත්ත දැනගත යුතුයි. ගේ ඇතුළේ කොයි මොහොතේ පුපුරයිද දන්නේ නෑ. මෙහි විද්‍යාත්මක තත්ත්වය ගැන පැහැදිලි කරන්න ඕනා. මේ අසූවයි විස්ස සංයුතිය පනහයි පනහ කළේ ඇයි? මේවා ගැන සියලූ තොරතුරු අවශ්‍යයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරලා හෝ මේ ගැන සෙවිය යුතුයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමැති ලසන්ත අලගියවන්න මහතා – විපක්ෂය ගෑස් පිළිබඳව ප‍්‍රශ්න කළා. ගෑස් පිළිබඳ අනතුරු දෙයක් සිද්ධවෙනවානම් ඒ ගැන රජය ගත යුතු පියවර සියල්ල මේ වන විට ගෙන තිබෙන බව කියන්න ඕනා. අපි ගෙන තිබෙන කි‍්‍රයාමාර්ගවලට ඒ තාක්ෂණික සේවය ලබා දීමට අපි උදව් කරලා තිබෙනවා. අපි මේ වන විට ගෙන තිබෙන තාක්ෂණික පියවරවලට වඩා අමතර උපදෙස් ලබා දෙනවා නම් ඒවා ලබා ගන්න අපි සූදානම්. මේ ප‍්‍රශ්නය ආවේ මීට මාස කිහිපයකට පෙර ලිට්‍රෝ සමාගම ලීටර් 18 සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කළා. පාරිභෝගික අධිකාරිය පැය 24 ක් යන්නට කලින් කිව්වා පවතින නීතිය අනුව මේක නීති විරෝධීයි කියලා. ඒ හින්දා මේක වහාම ඉවත් කර ගන්න කියලා. ලිට්‍රෝ ගෑස් සමාගම කිව්වේ මෙමගින් තාප ධාරිතාව වැඩි කර ගන්න පුළුවන් කියලා. අපි මේක අහලා නිකම් හිටියේ නෑ. කලින් ගෑස් පිළිබඳ ප‍්‍රමිතිය හොයන්න අපිට පහසුකම් තිබුණේ නෑ. නමුත් මේක ගැන අපි පරීක්ෂණ කළ විට අපිට හෙළිවුණා ඔය කියන තාප ධාරිතාවක් වෙන්නේ නෑ. මෙහි සත්‍ය ලෙසම තිබෙන්නේ කිලෝ ග‍්‍රෑම් 12.5 ප‍්‍රමාණයක් පමණයි කියලා. ඊට පසුව අපි මේ සමාගමට එරෙහිව නඩු දැම්මා. පසුව මේ ලීටර් 18 ගෑස් සිලින්ඩර සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත්තා. නමුත් මේ ගෑස් සිලින්ඩරය පුරවන විට ගෑස් සිලින්ඩරයෙත් යම් ගෑස් ප‍්‍රමාණයක් ඇතිවයි පිරවෙන්නේ කියලා. ඒ සමාගම කියන්නේ මේ වන විට අපේ රටේ පළමු වතාවට ගෑස් සිලින්ඩරයන්හි තිබෙන සංයුතියන් පිළිබඳ අපිට වාර්තා වෙනවා.

මම සඳුදා වන විට මේ පාර්ලිමේන්තුවට සම්පූර්ණයෙන්ම වාර්තාවක් ලබා දෙනවා. අපේ රටේ වගේම ලෝකයෙත් මෙහෙම වෙනවා. ගෑස් අනතුරු ශුන්‍ය වෙලා නෑ. මීට පෙර ලාෆ් සමාගමේත් ගෑස් අනතුරු අවස්ථා 23ක් වාර්තා වෙලා තිබෙනවා. අපේ රටට ඇතුළුවන භාණ්ඩ යම් ප‍්‍රමාණයක ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන්නේ නෑ. නමුත් අපි මේ වන විට මේ භාණ්ඩවල ගුණාත්මකභාවය ගැන පරීක්ෂා කරන්න කටයුතු කරනවා. මේ ගෑස් සිද්ධිය පිළිබඳ තත්ත්වය ගැන අපි දිගින් දිගටම ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මැක්ඩොනල් එකේ ගෑස් එළියේ තිබෙන්නේ. ඒ එකක් වහන්න බැරිවෙලා තිබෙනවා එදා ?. අපි මේ තත්ත්වය ශුන්‍ය කර ගත යුතුයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment