පාර්ලිමේන්තු පාරේදී අන්තරේට කඳුළුගෑස්

246

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල ඊයේ (06 දා) දහවල් දියත උයන ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන ලද ආණ්ඩුවට එරෙහි විරෝධතාවය විසුරුවා හැරීමට දෙවැනි වරටත් පොලිසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

පස්වරු 2.45 ට පමණ පොලිසිය මෙම කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන්නට විය. විරෝධතාවේ යෙදුන සිසුන්ට පෙරේදා (05 දා) රාත්‍රියේ ද කඳුළුගෑස් ප්‍රහාර එල්ල වූ අතර එහිදී සිසුන් 5 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

විරෝධතාවයේ යෙදුණු සිසුන් පොලිසිය යොදා තිබූ මාර්ග බාධකයක් පෙරළා දමා ඊයේ ඉදිරියට ඇදී එන්නට වීමත් සමග මෙම කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන්නට විය.

මෙම සිසුන්ගේ විරෝධතාවයට සිසූහු දහසකට අධික පිරිසක් සහභාගි වී සිටියහ. තත්ත්වය උණුසුම් මුහුණුවරක් ගැනීමත් සමග මහජනතාව ද විශාල ලෙසින් ඔවුන්ට සහාය වෙමින් විරෝධතාවයට එක්ව සිටිනු දැකගත හැකි විය.

පාර්ලිමේන්තු පාරේදී අන්තරේට කඳුළුගෑස්

විරෝධතාවයේ යෙදුණු සිසුන් අතේ වතුර බෝතල් තිබෙනු දැකගත හැකි විය. කඳුළුගෑස් ප්‍රහාරයන් එල්ල වන අවස්ථාවේ ඔවුන් බෝතල් වලින් වතුර ගෙන මුහුණ සෝදන ආකාරය ද දැකගත හැකි විය.

මෙම කඳුළුගෑස් ප්‍රහාර හේතුවෙන් මහමග ගමන් ගත් ජනතාව මෙන්ම මාර්ගයේ ධාවනය වූ වාහනවල රියැදුරෝ ද දැඩි අපහසුතාවට පත් වූහ.

පොලිසිය විසින් කඳුළුගෑස් උණ්ඩ විරෝධතාකරුවන් දෙසට එල්ල කරන විට පවතින සුළං තත්ත්වය හමුවේ එම උණ්ඩ යළිත් පොලිසිය දෙසටම ඇදී යන ආකාරය ද දැකගත හැකි විය.

සිසුන් කළු කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය දක්වන අයුරු ද දැකගත හැකි විය.

මෙම උණුසුම් සිද්ධියේදී විරෝධතාකරුවන්ට පෙරේදා රාත්‍රි මහජනතාව විසින් ලබාදී තිබූ ආහාරපාන සියල්ලම විනාශ වී තිබිණි. එසේම ඔවුන් සකස් කළ අට්ටාලයට හානි සිදුවී තිබෙන අයුරු ද දැකගත හැකි විය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ‘දිවයින’ට මෙසේ පැවසීය.

අපි හර්තාලයට සහාය පළ කරමින් පාර්ලිමේන්තු පොල්දූව පිවිසුම අසල පවත්වපු විරෝධතාවය 6 දා හවස නැවැත්තුවා. යළිත් පාර්ලිමේන්තු සැසිය ඇරඹුණ දාට අපි එනවා. ඒත් මේ දූෂිත ආණ්ඩුව ගෙදර යවන සටන නතර කරන්නේ නැහැ. ගාලුමුවදොර අරගලයටත් අපේ සහාය ලබා දෙනවා. අපි මෙතැන විරෝධතාවය නාවකාලිකව නතර කරනවා. අපි ගෝල්ෆේස් අරගලයට සහාය දෙන්න යනවා.

මාදිවෙල මන්ත්‍රී නිවාස ආසන්නයේ අන්තරේ සිසුන් පිරිසක් හා මහජනතාව එක්ව සිදුකළ විරෝධතාවය හේතුවෙන් මාදිවෙල සිට කිඹුලාඇළ දක්වා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පෙරේදා (5 දා) රාත්‍රියේ පාර්ලිමේන්තුව අසල ‘හොරුගෝගම’ නමින් පුවරුවක් සවිකර එතැන නතර වී විරෝධතා පැවැත්වූහ. එහිදී මුලින්ම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය.

ඉන්පසු එදින දහසකට අධික ශිෂ්‍ය පිරිසක් ඒ අසල රැඳී සිටින්නට වූහ. පසුව විරෝධතාකරුවෝ සිය විරෝධතාව නොනවත්වා ඉදිරියට රැගෙන යෑමට තීරණය කළහ. ඒ අනුව යකඩ ජී අයි බට හා පොලිස් මාර්ග බාධක උපයෝගි කර ගනිමින් ඔවූහු අට්ටාල සකස් කර ගත්හ. ඉන් අනතුරුව ඔවූහු එහි සිට රැය පහන් කළහ.

ඒ අතරේ විරෝධතාකරුවෝ මියුරු සංගීත නාද මධ්‍යයේ දේශාභිමානී ගීත ගායනා කරමින් ආණ්ඩුවට විරෝධය පළ කළහ.

වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් 225 දෙනාම සිය තනතුරුවලින් වහාම ඉවත් වී ගෙදර යා යුතු බවත්, හොරාකෑ මහජන මුදල් වහාම යළි ජනසතු කළ යුතු බවත් මෙහිදී විරෝධතාකරුවෝ පැවසූහ.

මෙහිදී ‘හොරුගෝගම’ අරගල භූමියට අධික වර්ෂාපතනයක් ද ඇදහැලිණි. කෙසේ වෙතත් විරෝධතාකරුවන් සකස් කළ අට්ටාලය යටට වී ඉන් බේරී සිටිනු දැකගත හැකි විය. මේ අතර පොලිස් මාර්ග බාධක මත කාන්තා සහ පිරිමි යට ඇඳුම් එල්ලා තිබෙනු පෙරේදා දක්නට ලැබිණි.

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල මෙම විරෝධතාවය තාවකාලිකව නතර කළ ද, අන්තරේ සිසූහු කොටුව ගාලුමුවදොර අරගලයට සහාය දීම සඳහා සන්ධ්‍යා භාගයේ පාගමනින්ම යන්නට වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment