පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විකල්ප බදු ක්‍රම හඳුන්වා දුන්නත් රජය වෘත්තිකයන්ට බදු බර පටවලා
ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

107

පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් විකල්ප බදු ක්‍රම හඳුන්වා දුන්නද ඒවා පිළිනොගෙන රජය වෘත්තිකයන්ට දරාගැනීමට නොහැකි තරමට බදු බර වැඩිකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (25දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

අද පෞද්ගලික් අංශයේ පඩි ලැබිලා බදු කපල තියෙනවා. ආණ්ඩුව කියන විදියට රජයේ පඩිත් අද ලැබෙනවලු. එහිදීත් බදු කැපෙනවා. මේ තුළ අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා ඇතුළු ඇමති, රාජ්‍ය ඇමති, මන්ත්‍රී සහ ඔවුන්ගේ පවුල්වල අයගෙත් බදු කැපෙයි කියලා. රාජ්‍ය මුදල් කාරක සභාවේ දී මා දැඩි ස්ථාවරයක් ගත්තා පෙබරවාරි මාසයේ මුල් සතියේ කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. එම රෙගුලාසි අනුව ගෙවල්, වාහන, ලැබෙනවා නම් වැඩට කට්ටිය එනවනම්, ලයිට් බිල් වතුර බිල් ගෙවෙනවා නම් ඒ සියල්ල මූල්‍ය නොවන වේතනයක් හැටියට ගණන් හදලා ඒවගෙන් බදු කපා ගන්න ක්‍රමවේදය ඉදිරිපත් කර තියෙනවා. කොමසාරිස් ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

පෞද්ගලික ආදායම් බදු 36%ක් වෙනකන් ඉහළ යනවා. අපි දැක්කා නොයෙකුත් වෘත්තියවේදියෝ, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, මහාචාර්යවරුන් සමග රජයේ ආයතනවල වැඩ කරන පුද්ගලයෝ කියනවා දරාගන්න බැරි තරමට බදු වැඩි වෙලා කියලා. ෆේස්බුක් පිටුවක මම දැක්කා මහාචාර්යවරයෙක් කියලා තියෙනවා බදු කපලා පඩිය 139,000ක් ණය වාරිකවලට 125,000ක් ගියා. 14000ක් ඉතුරු වුණා කියලා. පවුල ජීවත් කරවන්න ඔහු මේ රටේ රැඳී ඉන්නවද වෙන රටකට යනවද කියන ප්‍රශ්නය අහල තියෙනවා.

දැන්, කවුරුත් පිළිගන්නවා භාණ්ඩාගාරයට රුපියල් නැහැ. ඩොලර් නැහැ. එතකොට රුපියල් නැති ප්‍රශ්නයට විසඳුම මොකක්ද, දැන් සල්ලි අච්චු ගහන්නත් බැහැ. එදා ඉඳන් මම කිව්වා සල්ලි අච්චු ගැහුවොත් උද්ධමනය වැඩි වෙනවා රුපියලේ වටිනාකම අඩු වෙනවා කියලා. ඒ දේ දැන් සිදු වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන පූර්ව කොන්දේසියක් තමයි ගිවිසුම අත්සන් කළොත් ආයෙත් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බැහැ. දැන් බොහෝදුරට අඩු කරලා. නමුත් ආරංචි වෙන විදියට අද තමයි ඉතිහාසයේ වැඩිම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කරන්නේ. අද බලාගන්න පුළුවන් කොයි ආකාරයට ද වෙළෙඳපොළ හැසිරෙන්නෙ කියලා.

රටට බදු අවශ්‍යයි. නමුත් එය ගහනකොට සාධාරණ ද යන්න ප්‍රශ්නයක් තියෙනවා. තවම විකල්ප බදු ප්‍රතිපත්ති ප්‍රමාණය ඉදිරිපත් කරේ නැහැ. මුදල් කාරක සභාවේ සභාපති හැටියට අපි විකල්ප බදු ක්‍රම ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ සභාගත කරලා කිව්වා ඉන්දියාවේ තියෙන ක්‍රමයට ගැහුවොත් උපරිමය 30% ඔය බලාපොරොත්තු වෙන බදු ප්‍රමාණයෙන් අඩු වෙන්නේ බිලියන 7යි. ගෙවපු නැති කැසිනෝ කාරයන්ගෙන් එම බිලියන 7 ගන්න පුළුවන්. බිලියන 20ත් 25ක් පැනලා ඇති සීනි බදු වංචාවේ මුදල් ප්‍රමාණය. සියඹලාපිටිය ඇමැතිවරයා ඇවිත් කියනවා මෙච්චර රජයට අහිමි වුණා කියලා. ඇමතිතුමා එහෙම කිය කියා ඉඳලා වැඩක් නැහැ ගිහිල්ලා ගන්න.

රජය කිව්වා එක වෙලාවක පෞද්ගලික ආදායම් බදු ගහලා බලාපොරොත්තු වෙන්නේ බිලියන හැත්තෑවක පමණ ප්‍රමාණයක් කියලා. තව තැනක කියනවා බිලියන සීයක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා කියලා. රජයවත් දන්නේ නැහැ කොච්චර බලාපොරොත්තු වෙනවද කියලා.

මෙහිදී මෙම පෞද්ගලික ආදායම් බදු මීට වඩා සාධාරණව ගහන්න පුළුවන් කියන එක අපි ඔප්පු කරල පෙන්නලා ඉවරයි. එකක් කියන්නම් ඊළඟ සමගි ජන බලවේග ආණ්ඩුවේ අපි පෞද්ගලික ආදායම් බදු මීට වඩා සාධාරණ කරනවමයි. මට ඒ හැකියාව තියෙනවා. අපිට ඒ වැඩපිළිවෙළ තියෙනවා කරන්නත් පුළුවන්.

මේ ගහලා තියෙන පෞද්ගලික ආදායම් බදු අසාධාරණයි. සමහරු කියන්න පුළුවන් විකල්පයක් කෝ කියලා. අපි විකල්පය ඉදිරිපත් කරල තියෙනවා කොහොමද මීට වඩා කාර්යක්ෂම ලෙස මේ බදු එකතු කරගන්නේ. අනිත් පැත්තෙන් මීට වඩා අසාධාරණ ලෙස බදු කොහෙද අය කරන්නේ? දැන් බලන්න බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවල් සීග්‍රයෙන් අපනයනය වැඩි කරගන්නවා. අපේ අපනයන කට්ටියට සියයට තිහක් බදු ගහනවා.

කොතැනටද මේ බදු බඳින්න ඕන කාගෙන්ද ගන්න ඕන ඇමරිකාවේ කතාවක් තියෙනවා ජීවිතේ නියතම දේ බදු ගෙවීම සහ මරණය කියලා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment