පාරාදීසයේ අන්දකාර අන්දරය!

84

ගතවෙමින් පවතින්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඉතා තීරණාත්මක කාලයක්. මේ කාලය කොපමණ තීරණාත්මක ද යන්න කියන්නේ නම්, අධ්‍යාපනය අද භයානකම අනතුරු දායක අවධියක් පසු කරමින් සිටින බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. මේ තත්ත්වය හරියටම පසුගියදා අගමැතිවරයා කී වැල් පාලමේ කතාව සිහි ගන්වනවා.

අපේ අතීත නායකයන් අපට නිදහස් අධ්‍යාපනය උරුමකර දුන්නා. මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කරන්න කටයුතු කළා. කාර්මික විද්‍යාල ඇති කළා. විශ්වවිද්‍යාල සමූහයක් රට පුරා ඇති කළා. මහපොළ ශිෂ්‍යත්ව ලබා දුන්නා. පෙළ පොත් නොමිලේ ලබාදීම ඇරඹුවා. නිල ඇඳුම් ලබා දුන්නා. දිවා ආහාරය ලබා දුන්නා. අධ්‍යාපනය තුළින් හිස ඔසවන්නට අපේ දරුවන්ට ලැබුණු මේ අවස්ථාවන් කොහෙන් කඩා වැටෙයිද? කුමන වේලාවක සුළඟට ගහගෙන යයිද? කුමන මොහොතක අතුරුදන් වෙයි ද? අනතුරකට මුහුණ දෙයිද යන්න ආදිය ගැන සිතිවිලිවලින් හිස අවුල් වන භයානක අවදියක් අද උදාවෙලා. අපේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට අත්වී ඇති ඉරණම, රටේ හෙට දවස සම්බන්ධයෙන් භීතිය දනවන තත්ත්වයක්. සඳුන් —ගැටක් මිටින් අරන් නූපන් දිළිඳු දරුවන් සතු වටිනාම ධනය අධ්‍යාපනයයි.

ඒ අධ්‍යාපනය අද අපේ දූ දරුවන්ට අහිමි වෙමින් පවතිනවා. මන්දපෝෂණය බොහොමයක් දරුවන්ගේ උරුමය බවට පත්වීම සිදු වෙමින් තිබීම අපි දකිනවා. මාධ්‍යවලින් වාර්තා නොවුණද අද ගම්බද පාසල්වල දරුවන් බොහොමයක් කුසගින්නේ. පාසල් පැමිණ ක්ලාන්ත වී වැටීම ගැන තොරතුරු දස දෙසින් ලැබෙමින් පවතිනවා. මන්දපෝෂණය වැළඳගත් දරුවන්ගේ ප්‍රතිශතය කිසි කලෙක නොවූ ලෙසින් ඉහළ ගොස්. ලොව මන්දපෝෂණය ඉහළ තැනක සිටින රටවල් ගොන්නට අපේ රටත් දැන් ඇතුළු වෙලා. මේ වන විට ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාවත් වසා දමා ඇති බව වාර්තා වෙනවා. ගැබිනි මව්වරුන් සහ දරුවන්ට ලබා දුන් විටමින් සහ පෝෂණ වර්ග ලබාදීම ඇනහිටලා.

රටේ බරපතළ බෙහෙත් හිඟයක්, ශල්‍යකර්ම උපකරණ හිඟයක් උද්ගත වෙලා. දරුවන්ට පාසල් අධ්‍යාපනය පමණක් නොව පෝෂ්‍යදායී ආහාර වේලක අයිතියද අහිමි වී ඇත. ආහාර ද්‍රව්‍යවල මිල පිළිබඳ උද්ධමනය 80% දක්වා ඉහළ ගොස් බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ව්‍යසනය කුස්සියට ද ප්‍රවිෂ්ට වී හමාරය. බිරිඳට, දරුවාට, සැමියාට, මවට, පියාට අසනීපයක් වුවහොත් ප්‍රවාහන පහසුකම් ප්‍රශ්නයක්ම ය.

“ඉන්දියන් සාගරයේ මුතු ඇටය” ලෙසින් විරුදාවලිය ලද අපේ මාතෘ භූමියට ඉතා දුක්ඛිත ඉරණමකට මුහුණ දෙන්නට සිදු වෙලා. ආසියාවේ කිසිදු රටකට මුහුණ දෙන්නට සිදුව නැති තත්ත්වයකට, අපේ රටට පමණක් මුහුණ දෙන්නත් සිදු වෙලා.

වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට හා සෞඛ්‍යය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කාලයක් නැති තරම්ය. ඒ වෙනුවට ඔවුන්ට සිදුව තිබෙන්නේ ඉන්ධන පෝලිම් වල රස්තියාදු වීමට ය. වරෙක ටෝකන් සඳහා පෝලිම්. ඊළඟට ඉන්ධන ලබා ගැනීම සඳහා වන පෝලිම්ය.

සාමාන්‍ය ජනතාව ද මුහුණ දී ඇත්තේ කුමන පාපයකටද, ශාපයක් ද යන්න තේරුම් ගත නොහැකි තරම්ය. අම්මා හෝ දියණිය ගෑස් පෝලිමේය. තාත්තා ඉන්ධන පෝලිමේ ය. පුතා පාස්පෝට් පෝලිමේ ය. රට හැර යෑමට විශේෂයෙන් තරුණ ජනතාව බුරුතු පිටින් ලැහැස්ති වීම දකින්නත් තිබෙනවා. මානව ආපදාවක් යනු මෙයට වඩා අමුතු තත්ත්වයක් නොවේ.

සමාජයක හැමවිටම දුෂ්කර ජීවන අරගලයක යෙදී සිටින සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවිත ගැන හැකි තරමින් සැලකිලිමත් වීමට, පිහිටවීමට ඒ සඳහා ශක්තිය ඇති කොටස්වල ඉදිරිපත් ඉදිරිපත්වීම වෙන කවරදාවකවත් වඩා අපේ සමාජයට අවශ්‍ය මොහොත එළඹ ඇත. හැම තරාතිරමකම ජනතාව අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී සිටීම සත්‍යයකි. එහෙත් අපේ සමාජයේ වැඩිහිටියන්, දරුවන්, රෝගීන්, අඩු ආදායම්ලාභීන් මෙන්ම මෙම අර්බුදය තුළ රැකියා සහ ආදායම් අහිමි කරගෙන ඇති කොටස් වෙනුවෙන් යම් තරමක හෝ හැකියාව ඇති අයවලුන්ගේ ඉදිරිපත් වීම මේ අවස්ථාවේ දී ඉතා වැදගත් වනු ඇත.

“ධර්මය අසන්නට එන්නාගේ කුසගින්න පළමුව නිවන්න”

කියා දේශනා කළේ බුදුන් වහන්සේ.

“අසල්වැසියා කුසගින්නෙන් පීඩා විඳින මොහොතක ඒ ගැන පිහිට වීමක් නොකර තම කුස පමණක් පුරවා ගන්නා අය මගේ
අනුගාමිකයෙකු නොවේය” යන නබිතුමන්ගේ කියමන මේ මොහොතේ මගේ සිහියට නැගෙනවා.

ලංකාව කියන්නේ ඉතිහාසයේ පාරාදීසයක්. නමුත් වර්තමානය අඳුරු අනාගතයක් සහිත වේදනාත්මක කොදෙව්වක්.

එය වෙනස් කිරීම බොඳවෙන සිහිනයක් නොවිය යුත්තක්!

advertistmentadvertistment
advertistmentadvertistment