පාරිභෝගිකයින්ට බරක් නොවන ලෙස කිරි ගොවීන්ට ඉහළ මිලක් දෙන්න – ජනපති උපදෙස් දෙයි

132

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප‍්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දුන්නේය.

නාරාහේන්පිට මිල්කෝ කර්මාන්තශාලාව ඊයේ (25දා) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

දියර කිරි මිලදී ගැනීමේදී දිස්ත‍්‍රික් මට්ටමින් පවතින මිල ගණන්වල විෂමතාව කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් කෙරිණ. කිරි ගොවියාගෙන් කිරි මිලදී ගෙන ආයතනය දක්වා රැගෙන ඒමේදී අතරමැදියන්ගෙන් සිදුවන අක‍්‍රමිකතා මඟහැරීමට සමස්ත ක‍්‍රියාවලිය පූර්ණ අධීක්ෂණයට ලක් කළ යුතු බවත් නියම මිල කිරි ගොවියා අතට ලැබීමට සැලැස්විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කිරි ගොවියා නඟාසිටුවීම සහ දියර කිරි පරිභෝජනය ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයන්ට එළැඹිණ. මෙහිදී පාරිභෝගිකයාට බරක් හා පවතින මිල ගණන්වල වෙනසක් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කර්මාන්තශාලා පරිශ‍්‍රයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියර කිරි එක්රැස් කිරීමේ සිට කිරි හා කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සිදුකිරීමේ ක‍්‍රියාවලිය පූර්ණ නිරීක්ෂණයට ලක් කළේය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ ඇති භාවිතයට නොගත් ඉඩම්වල තෘණ වගා කිරීමටත් දිගන, අඹේවෙල, පොළොන්නරුව හා බඩල්ගම යන කර්මාන්තශාලාවල ප‍්‍රධාන මධ්‍යස්ථානය සේ නාරාහේන්පිට පිහිටි මිල්කෝ කර්මාන්තශාලාව සංවර්ධනයට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

පිටි කිරි කිලෝග‍්‍රෑම් එකක් නිෂ්පාදනය සඳහා
යොදාගැනෙන දියර කිරි ලීටර් ප‍්‍රමාණය 8.5කි. ඉන් සෑදිය හැක්කේ කිරි කෝප්ප 45ක් පමණි. එහෙත් දියර කිරි ලීටර් 2.5කින් එම අවශ්‍යතාව සපුරාගත හැකි බව නිලධාරීහු කියා සිටියහ. මෙම තත්ත්වය අවබෝධ කරගනිමින් දියර කිරි පරිභෝජනයට ජනතාව දිරිගැන්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඞී.බී. හේරත්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වරුණ සමරදිවාකර, මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා සහ සාමාන්‍යාධිකාරී සුදත් මුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment