පාරිභෝගික කටයුතු සංශෝධන පනත අද මැති සබයට – රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

93

පාරිභෝගික කටයුතු සංශෝධන පනත අද (06 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘‘දිවයින’’ ට පැවැසීය.

සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලසුම් සහගතව ඉහළ දමන හා පාලන මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එම පනත සංශෝධනය කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පාරිභෝගික කටයුතු සංශෝධන පනතට අනුව තනි පුද්ගලයන් හෝ තනි පුද්ගල ව්‍යාපාර හා සමාගම් ලෙස දඩ මුදල් පැනවීම කාණ්ඩගත කර තිබේ.

ඒ අනුව තනි පුද්ගල ව්‍යාපාරයක උපරිම දඩ මුදල රුපියල් විසිදහසේ සිට රුපියල් ලක්‍ෂයක් දක්වා ඉහළ නංවා තිබේ.

සමාගමක උපරිම දඩය රුපියල් ලක්‍ෂ දෙකේ සිට රුපියල් කෝටිය දක්වා ඉහළ දමා ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

තනි පුද්ගලයෙක් සඳහා පැවැති අවම දඩය රුපියල් 1000 සිට රුපියල් ලක්‍ෂය දක්වා ඉහළ දමා ඇති අතර, සමාගමක් සඳහා පැවැති අවම දඩයවූ රුපියල් 19,000 රුපියල් ලක්‍ෂ පහ දක්වාත් ඉහළ දමා තිබේ.

මේ අතර, කූට වෙළෙඳුන් සඟවා තිබියදී සොයාගත් සීනි තොග සතොස හා සමුපකාර වෙළෙඳසල් වෙත බෙදාහැර ඇති බවත්, රට තුළ සීනි හිඟයක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

එසේම සීනි ඉතා අධික මිලකට අලෙවි කරන්නේ නම් එවැනි වෙළෙඳුන් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ 1977 ට පැමිණිලි කරන්නැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අනුර බාලසූරිය ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment