පාරිභෝගික නිලධාරීන් නිදි: වෙළෙන්දන්ට මෙදා නත්තල නව වසර සරුයි

96

වෙනදා නත්තලට අලුත් අවුරුද්දට මට සුබ පැතීමට ගල්, පොල් අරක්කු බෝතල් රැගෙන ගෙදරට එන මගේ මිත්‍රයෝ අද දකින්නට නැත. මෙම උත්සව කාලය තුළදී තෑගි බෝග, බිස්කට්, කේක් වර්ග කෙසෙල් රැගෙන එන මගේ බිරිඳගේ පවුලේ හිතවතුන් අද අපේ ගෙදර පැත්ත පළාතකටවත් පැමිණ නැත. ගෙදරට කවුරුහරි අමුත්තෙක් පැමිණියහොත් වැඩි ගාණට මිලට ගත් සීත කළ කුකුළා තවමත් ශීතකරණයේ ය.

කිරිබත්ගොඩ සතිපතා පොළෙන් ගිනි ගාණට මිලට ගත් බෝංචි, කැරට්, අල, ලූනු, පරිප්පු තාමත් මේසය යට ය.

බිරිඳගේ මිහිරි කටහඬ කුස්සියේ සිට මට ඇසේ.

“ඒයි කෝ අද කවුරුත් එන්නේ නැති පාටයි. දැන් උදේ දහයත් පහුවුණා.”

බැරිවෙලාවත් ගෙදරට එන ඔය කවුරුහරි කෙනෙක් අරක්කු බෝතලයක් උස්සගෙන ආවොත් පෙරේතකමට ඒක බොන්න ලෑස්තිවෙන්න එපා තේරුණා ද? බිරිඳ කීවා ය.

බිරිඳගේ ශබ්දය නැති කිරීමට මම රූපවාහිනියේ ශබ්දය වැඩි කළෙමි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් නිදි. වෙළෙන්දෝ ගණන් උස්සති. රූපවාහිනියේ පැයෙන් පැයට කියන ප්‍රවෘත්තියකට මගේ බිරිඳ පිළිතුරු දුන්නා ය.

ඇත්තට දැන් පාරිභෝගික නිලධාරීන් සේවය කරනවා ද? උදේ සේවයට එන එකා නවයට දහයට ඇවිත් වැඩ පටන් ගන්නවා කියලා පච හලනවා. කරන සේවයක් නැහැ. අහිංසක පාරිභෝගිකයා ගසා කනවා බලන්න කෙනෙක් නැහැ. අපිට නත්තල් අවුරුදු නැති වුණාට මෙදා වෙළෙඳුන්ට තමයි නත්තල් අවුරුදු තියෙන්නේ.

පසුගිය කාලේ පාරිභෝගික නිලධාරීන් කඩියන් වගේ වැඩ කළා. කෝ මේ වෙළෙඳ ඇමැතිතුමා අලුත් පාරිභෝගික නිලධාරීන් ටිකක් දැම්මා නම් පංකාදුයි බිරිඳ කීවා ය. එහෙම කියන්න එපා. දැන් සේවය කරන පාරිභෝගික නිලධාරීන් නුවරඑළිය, බණ්ඩාරවෙල පළාත්වල ගිහින් සේවය කරනවා මම කීවෙමි.

අනුමානයක් නැහැ. පවුල්පිටින් ගිහින් ඒ පළාත්වල සේවය කරනවා ඇති වෙළෙඳ ඇමැතිතුමාට කියන්න මේවා ගැන ටිකක් හොයලා බලන්න කියලා බිරිඳ කීවා ය.

මොකද ගෙදරටවෙලා ඉන්නේ පොඩ්ඩක් නාමල් පෙදෙස පුරාම ඇවිදලා එන්න බිරිඳ තවත් නියෝගයක් කළා ය.

මට මිදුලට බහින්න බැහැ. නාමල් පෙදෙසේ සුනිල් කුමාර, ෂෙල්ටන්ලා, නානායක්කාරලා ‘පොප්’ ගෙදර කට්ටිය ශාන්ති කැලැන්ඩර් දිනපොත් ඉල්ලනවා. අර පින් අඩි සිල්වා ගතියක් නැහැ කියලා මගෙන් බොන්න ඉල්ලයි. වතුර තමයි බොන්න දෙන්න වෙන්නේ. මම පිළිතුරු දුන්නෙමි.

නත්තල් දවසට අලුත් අවුරුද්දට වෙනදා පිපිරෙන රතිඤ්ඤා හඬවල් වෙනුවට අද ඇහෙන්නේ ගෙදර බිරිඳගේ හඬත්, අහලපහල කාන්තාවන්ගේ හඬවල් ය.

මෙතෙක් වේලා කිසිම හිනාවක් නැතිව බුම්මාගෙන සිටිය මගේ බිරිඳ සිනාසුණා ය.

“ආවා… ආවා… කියමින් ගෙදරට එන වාහනය දෙස බලා ඇය සිනාසුණා ය. කොහිලවත්තේ සිරා නංගිලායි එයාගේ දුවයි පුංචි පුතාලයි. දුවගේ සැමියා වන ඉසුරුයි. වාහනයෙන් බැස්සේ ය. වෙනදා ගෙනෙන කේක් වෙනුවට සිරාගේ දුව ගෙනාපු බෑගය මගේ බිරිඳ ඒ මොහොතේම පරීක්‍ෂා කළා ය. හරි ෂෝක්… හරි ෂෝක්… බිත්තර විස්සක් විතර ගෙනැල්ලා.

කොහොමද බිත්තර හොයා ගත්තේ සල්ලි කීයක් ගියා ද? බිරිඳ ඇසුවා ය.

වැඩි ගාණට ගත්තා. හැබැයි අහල පහලට ප්‍රසිද්ධ කරන්න එපා මෙහෙ බිත්තර තියෙනවා කියලා. දැන් ගෙවල්වලට බිත්තර ගේන එකත් තත්ත්වයක්. වෙනදා අරක්කු බෝතලයක් ගෙන එන ඉසුරුගේ අතේ තිබුණේ කිරි හට්ටියක් සමග ලොකු කෙසෙල් ඇවරියක් හා සීනි තේකොළ, පරිප්පු බෑගයක් ය. ෆ්‍රිජ් එකේ තිබූ කුකුළා කැපීමට බිරිඳ මට නියෝගයක් කළා ය. කෑම එපා… කෑම එපා… කෑම ලෑස්ති කරන්න එපා. ඉසුරුගේ මව කීවා ය.

මම යළිත් කුකුළා ෆ්‍රිජ් එකේ තැබුවෙ මි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment