පාරේ විරෝධතා නිසා මැනිං වෙළෙඳපොළට එළවළු ලොරි ඒමත් අඩුවෙලා

102

ඉන්ධන මිල වැඩිවීම හා මාර්ග වසා විරෝධතාවේ යෙදීම හේතුවෙන් එළවළු ලොරි පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයට ඊයේ (21 දා) පැමිණියේ සියයට 40ක ප්‍රමාණයක් බවත්, පැමිණි බොහෝ එළවළුවල මිල ඉතා අධික බවත් එහි පොදු වෙළෙඳ සමිතියේ නියෝජ්‍ය සභාපති ජී. පී. ප්‍රභාත් සුසන්ත මහතා “දිවයින” ට පැවැසීය.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ එළවළු ලොරි රථවල ගාස්තුවද සියයට හැත්තෑවකින් ඉහළ නංවා ඇතැයි හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ ප්‍රභාත් සුසන්ත මහතා මෙසේද කීය.

ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ ලොරි කුලිය වැඩි කරලා. සමහර ප්‍රදේශවල පාරවල් වහලා විරෝධතා පැවැත්වෙනවා. මේ නිසා කොළඹට එළවළු ප්‍රවාහනය කිරීමේ ගැටලු මතු වෙලා තියෙනවා. අද පැමිණි එළවළුවල මිල වැඩියි. කැරට් කිලෝවක් රුපියල් 200යි. බෝංචි කිලෝවක් රුපියල් 500යි. මාලුමිරිස් කිලෝවක් රුපියල් 300යි. කරවිල කිලෝවක් රුපියල් 200යි. ලීක්ස් කිලෝවක් රුපියල් 100යි. අමුමිරිස් කිලෝවක් රුපියල් 300යි. වම්බටු කිලෝවක් රුපියල් 130යි. රාබු කිලෝවක් රුපියල් 120යි. වැටකොලු කිලෝවක් රුපියල් 150යි. වට්ටක්කා කිලෝවක් රුපියල් 60යි. ගෝවා කිලෝවක් රුපියල් 70යි. එලවළු මිල වැඩියි. දැන් මේවා ගැනුම්කරුවෝ අරන් ගියා. ඒත් ගම ඇතුළට ගියාම කොහොම එලවළු විකුණාගනියිද දන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment