පාසලක උදේ රැස්වීමෙන් පසුව ප්‍රථමික සිසුන්ට ක්ලාන්තය: රැස්වීම පැය 2 ක් තිබුණු බව මව්පියෝ පවසති

152

රැස්වීම පැය ගණන් නොපැවැත්වූ බවට විදුහල්පතිගෙන් ප්‍රකාශයක්

පාසලේ පැවැති උදෑසන රැස්වීමෙන් අනතුරුව සිසුන්ට මෙම ක්ලාන්තය තත්ත්වය හටගෙන ඇත. පසුව දෙමව්පියන්ට දැනුම් දීමෙන් අනතුරුව එම ක්ලාන්තය තත්ත්වය ඇති වූ සිසුන්ගේ දෙමාපියන් විද්‍යාලය වෙත පැමිණ සිය දරුවන් නිවෙස්වලට රැගෙන ගිය අතර සිසුන් දෙදෙනකු ඔවුන්ගේ දෙමාපියන් විසින් වතුපිටිවල මූලික රෝහලට රැගෙන යාමෙන් පසුව 16 ළමා වාට්ටුවට ඇතුළත් කෙරිණි. රෝහලට ඇතුළත් කෙරුණු දරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පාසලේ උදේ රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වූ බවත් ළමුන්ට එහිදී අව් රශ්මියේ සිටගෙන සිටීමට සිදු වීමෙන් ක්ලාන්තය ඇති වූ බවට සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් අපට අසන්නට ලැබුණි. සිද්ධිය සම්බන්ධ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැන්නකි. සිසුන් හය දෙනෙකුට පමණ තමා ක්ලාන්තය තත්ත්වය මම එම ස්ථානයට යන විට ඇතිවෙලා තිබුණේ. උදේ රැස්වීම පවත්වලා තියෙන්නේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිවරයාගේ මූලිකත්වයෙන්. මම ප්‍රාථමික අංශයේ රැස්වීමට යන්නේ නෑ.

උදේ රැස්වීම පැය ගණනක් පවත්වලා තිබුණේ නෑ. මම හිතන විදිහට එක් ළමයෙක් ගෙනාපු යම්කිසි කෑමක් අනිත් ළමුන් සමග බෙදාගෙන කෑමෙන් තමා මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. මම වෛද්‍යවරයෙක් පාසලට ගෙන්වලා මේ ඇතිවුණු තත්ත්වය පිළිබඳ සොයා බැලු‍වා. එම වෛද්‍යවරයා කියා සිටියේ එක ළමයකුට ඇතිවූ යම් අසනීප තත්ත්වයක් මානසිකව අනිත් ළමයින් අතර ව්‍යාප්ත වීමක් සිදුවෙලා තිබෙනවා කියලා. අදාල වෛද්‍යවරයා පාසලෙන් පිටතට පැමිණි අවස්ථාවේ අප ඔහුගෙන් ද විමසීමක් කළා. එහිදී එම වෛද්‍යවරයා කියා සිටියේ ඔහු විදුහල්පතිවරයා හමුවීමට පාසලට පැමිණි බවයි. සිද්ධිය සම්බන්ධ අප ගම්පහ අධ්‍යාපන කලාප කාර්යාලයේ අධ්‍යක්ෂවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත් අවස්ථාවේ ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධ ඔහුට (පස්වරු 4 පමණ වන විටත්) වාර්තා නොවුණු බවත් මේ පිළිබඳ සොයා බලා වැඩිදුර කරුණු පැවසීමට හැකි බවත්ය.

වේයන්ගොඩ ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment