පාසල්වලට ලබාදුන් බස්රථ නඩත්තු කිරීමට බැරිව විදුහල්පතිවරු අසරණ වෙති

284

දේශපාලඥයන් විසින් පාසල්වලට ලබාදුන් බස්රථ සහ ත්‍රිරෝද රථ නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් දෙමවුපියන්ගෙන් අය කිරීමට සිදුවීම හේතුවෙන් පාසල්වල විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවකට ලක් වී ඇති බව විදුහල්පතිවරුන් සඳහන් කළේය. මෙම බස් රථ සඳහා ටයර් සර්විස් ආදායම් බලපත්‍ර මෙන්ම රක්ෂණ ගාස්තු සඳහා වසරකට ලක්ෂ දෙකක් ඉක්ම වන අතර එම මුදල සොයා ගැනීමට දරුවන්ගෙන් අයකරන පහසුකම් ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇති බවද සඳහන් කළේය. මේ වනවිට පොතපත පවා ගැනීමට දෙමවුපියන්ට අසීරු වී ඇති අවස්ථාවක එම මුදල් අයකර ගැනීම ඉතා ගැටලුවක් වී ඇතැයි ද විදුහල්පතිවරු කියති.

එලෙස ලබා දුන් බස්රථ අධ්‍යාපන කටයුතුවලට අමතරව දේශපාලනඥයින් ගේ රැස්වීම් සඳහා සෙනඟ ඇදීමට ද යොදාගෙන ඇතැයි ද දේශපාලකයන් ලබාදුන් බස්රථ හේතුවෙන් එලෙස ඉල්ලීම් කරන අවස්ථාවන්වලදී බස් රථ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ගැටලු සහගත බවද සඳහන් කළේය.

මේ පිළිබඳව හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කළ විමසීමක දී උසස් නිලධාරියකු සඳහන් කළේ බස්රථ පාසලට ලබාදීමට පෙර එම දේශපාලනඥයින් විසින් නඩත්තු වියදම් පාසලෙන් දැරිය හැකි ද යන්න විදුහල්පතිගෙන් විමසා මෙලෙස බස්රථ සහ ත්‍රිරෝද රථ ලබා දී ඇති බවය. එම බස් රථ සහ ත්‍රිරෝද රථ අවසර ලබාගෙන හන්දිවල හයර් කිරීමට යොදා ගත හැකි බව ඔහු සඳහන් කළ අතර කෙසේ වෙතත් එලෙස කිරීම විදුහල්පතිවරුන්ට අමතර බරක් බවද ඔහු සඳහන් කළේය.

සමහර පාසල්වලට ලබා දී ඇති ත්‍රීරෝද රථ විදුහල්පතිවරුන්ගේ නිවාස වල තබාගෙන ඇති බවත් සමහර ත්‍රීරෝද රථ නඩත්තු නොකිරීම හේතුවෙන් දිරාපත් වෙමින් පවතින බව මේ පිළිබඳව කළ සොයා බැලීමක දී අනාවරණය වී ය. එමෙන්ම පාසල්වලට ලබාදුන් සමහරක් බස්රථ එකම ස්ථානයක වසරකටත් වඩා වැඩි කාලයක් කිසිදු කටයුත්තකට යොදා නොගෙන ගාල් කර ඇති බවත් සමහර බස්රථවලින් ගුරුවරුන් පුද්ගලික උත්සව සඳහා සහභාගිවීමට පමණක් යොදාගෙන ඇති බවත් අනාවරණය වී ය.

තිස්සමහාරාම අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment