පාසල් ඇරියත් දිගටම අපි වර්ජනය කරනවා

177

ළමුන් 300 කට වඩා අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් ලබන 21 වැනිදා යළි ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. එසේ වූවත් එම තීරණය යථාර්ථයක් බවට පත්වීමට නම් එදිනට ගුරුවරුන් ද පාසල් පැමිණිය යුතුය. නමුත් ඔවුන් මේ වන විටත් වෘත්තීය අරගලයක නිරතව සිටිති. එබැවින් ලබන 21 වැනිදා පාසල් විවෘත කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව අප ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් විමසා සිටියෙමු. ඒ පිළිබඳව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ ස්ථාවරය මෙසේය.

ප‍්‍රශ්නය – ළමයින් 300 කට වඩා අඩුවෙන් අධ්‍යාපනය ලබන පාසල් ලබන 21 වනදා ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කරලා තිබෙනවා.

ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් එදිනත් වැඩ වර්ජනය කරනවාද?

පිළිතුර – අපි තවම අවසන් තීරණයට එළඹිලා නැහැ. අපි අපේක්‍ෂා කරනවා එදිනට පෙර විසඳුම ක් ලැබේවි කියලා. නමුත් එදිනට පෙර විසඳුමක් ලබා නොදුන්න හොත් මීට එහා යන දැඩි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට යනවා.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ වර්ජනය කරනවා

පිළිතුර – ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය ලෙස තීරණයක් ගෙන එය ක‍්‍රියාත්මක කරනවා.

ප‍්‍රශ්නය – එහෙම නම්, ඔබලා කියන්නේ පඩි වැඩි කරන තුරු පාසල් විවෘත කරන්න එපා කියන එකද?

පිළිතුර – නැහැ. අපි සම්පූර්ණයෙන්ම පාසල් විවෘත කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. අපි බැලූවොත් ගිය වසරේ ළමුන් සඳහා පාසල් පවත්වා තිබෙන්නේ දින 65 ක් වැනි සංඛ්‍යාවක් පමණයි. සමහර ළමයින්ට දින 30 ක් වත් අධ්‍යාපනය ලැබිලා නැහැ. මේ වසර තුළ දී බස්නාහිර පළාතේ ළමයින්ට දින 5 ක් වත් අධ්‍යාපනය ලැබුණේ නැහැ. මෙම කොවිඞ් වසංගතය නිසා ළමයින්ගේ අධ්‍යාපනය බරපතළ කඩා වැටීමකට ලක් වී තිබෙනවා. එම කඩා වැටීම අපි ප‍්‍රතිනිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් කටයුතු කළ යුතුයි. නමුත් අපි කියන්නේ ඒ සමගම මෙම වැටුප් විෂමතාවය නැති කිරීමට කටයුතු කළ යුතු බවයි.

ප‍්‍රශ්නය – ගුරු විදුහල්පති වර්ජනයට එරෙහිව සමාජය තුළිනුත් විරෝධයක් එල්ල වී තිබෙනවා නේද? එම විරෝධය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – මෙම වර්ජනය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන එක විවේචනයක් තමයි පාසල්වල උගන් වන්නේ නැහැ කියන එක. ඇත්තටම එබඳු විවේචනයක් එල්ල කිරීම වැරදියි. මොකද පාසල් ආරම්භ කිරීමට තීරණය කරලා තිබෙන්නේ මෙම මස 21 වනදා. අපි මෙම වර්ජනය ආරම්භ කළ මාර්තු 12 වනදා සිටම පාසල් ආරම්භ කරලා තිබෙුණේ නැහැ. එම නිසා අපි උගන්වන්නේ නැහැ කියන චෝදනාව වැරදියි.

මෙම වර්ජනයට එල්ල කරන තවත් චෝදනාවක් තමයි මෙම වර්ජනය නිසා විභාග කල් යනවා කියන එක. ඇත්තටම විභාග කල් යන්නේ අපගේ වර්ජනය නිසා නොවෙයි. නොවැම්බර් 15 වනදා උසස් පෙළ විභාගය පැවැත්වීමට තීරණය කරලා තිබෙනවා. අදියර 4 කින් විභාග පැවැත්වීමට තීරණය කරලා තිබෙනවා. පළමු අදියර ක‍්‍රියාත්මක වන්නේම නොවැම්බර් 21. හතර වන අදියරේ තමයි උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ළමයින් සිටින්නේ එතකොට කොහොමද කියන්නේ වර්ජනය නිසා විභාග පැවැත්වීමට නොහැකි වූ බව.

සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල ප‍්‍රමාදවීමත් අපේ වරදක් ලෙස සමහර අය පෙන්වනවා.

එම ප‍්‍රතිඵල ප‍්‍රමාදවීමට හේතු වූයේ කොවිඞ් වසංගතය නිසා සෞන්දර්ය විෂයන්ගේ බාහිර පරීක්‍ෂණ නොපැත්වීම. බාහිර පරීක්ෂණවල ප‍්‍රතිඵල නැතිව තමයි සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කළේ. එම තත්ත්වයන්ට හේතු වූයේ කොවිඞ් වසංගත තත්ත්වය.

ඒ අනුව පැහැදිලි වනවා අපට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව. සැලසුම් සහගතව ආණ්ඩුවේ පාර්ශවයන් විසින් මෙම චෝදනා එල්ල කරන බව පේන්න තිබෙනවා. නමුත් අපි ගන්න වෘත්තීය ක‍්‍රියාමාර්ග නිසා ඔන්ලයින් අධ්‍යාපනය නම් නතර වූවා. එසේ වූවත් ඔන්ලයින් අධ්‍යාපනය ලැබුවේ ළමයින්ගෙන් 40% ක් පමණයි.

ළමයින්ගෙන් 60% කට ආණ්ඩුව කිසිම අධ්‍යාපනයක් ලබා දුන්නේ නැහැ. පසුගියදා පාර්ලිමේන්තුවේදී සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිතුමා ප‍්‍රකාශ කළා ඔන්ලයින් අධ්‍යාපනය ලැබුවේ ළමයින්ගෙන් 40% ක් පමණක් බව. ළමයින්ගෙන් 60% කට කිසිම අධ්‍යාපනයක් ලබා නොදුන්නද ආණ්ඩුවට කවුරුත් චෝදනා කරන්නේ නැහැ එම ළමයින්ට කිසිම අධ්‍යාපනයක් ලබා නොදීම ගැන ආණ්ඩුවට චෝදනා කළ යුතුයි. නමුත් සමහර දෙමව්පියන් අපට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නම් කියන්න තිබෙන්නේ එම චෝදනාවලට කිසිම පදනමක් නැහැ කියන එක තමයි.

ප‍්‍රශ්නය – අගමැතිතුමා සමග පැවැති සාකච්ඡාවේදී එතුමා ඔබලාගේ ඉල්ලීම් කොටස් වශයෙන් ලබාදීමට එක`ග වී තිබෙනවා. රට පමණක් නොවෙයි. ලෝකයම කොවිඞ් වසංගතයට ගොදුරු වී තිබෙන මෙම අවස්ථාවේදී ඔබලා එම යෝජනාව ප‍්‍රතික්‍ෂේප කළේ ඇයි?

පිළිතුර – එම සාකච්ඡාවේදී පැහැදිලිවම අප එක`ගතාවයක් ප‍්‍රකාශ කළේ නැහැ. අපි මුල සිටම ඉල්ලා සිටියේ සුබෝධනි කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කරන්න කියන එක තමයි. එය සකස් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු හතර දෙනකු විසින්. නමුත් එම කමිටු වාර්තාව වෙනුවට මෙම ආණ්ඩුව අගෝස්තු 30 වනදා කැබිනට් අනුකාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කළා. එම කමිටු වාර්තාවෙන් යෝජනා කරලා තිබෙන්නේ අපිට ලැබිය යුතු වැටුපෙන් 1/3 ක් පමණයි. සුබෝධනි කමිටු වාර්තාවෙන් පළමු පන්තියේ ගුරුවරයෙකුට රුපියල් 31000 ක් යෝජනා කරන විට අනුකමිටුවෙන් යෝජනා කරලා තිබුණේ 11820 ක් පමණයි.

මේක කොටස් 4 කට බෙදලා දෙන්න තීරණය කරලා තිබෙන්නේ. කොටස් හතරකින් ලබා දෙනවාට අපේ එකගතාවයක් නැහැ. ඉන් පසුව කොටස් තුනකට දෙන්න තීරණය කළා. එම තීරණයට අනුව පහළම ගුරුවරයෙකුට ලැබෙන්නේ 1250 යි. පළමු ශ්‍රේණියේ ගුරුවරයාට ලැබෙන්නේ 3940 යි. එක කොටසකට ලැබෙන ප‍්‍රශ්නය තමයි ඒ. මේ වගේ අවම වැටුපකට එකග වෙන්න අපට බැහැ.

අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ප‍්‍රකාශ කළේ වැටුප් වැඩි කිරීම කොටස් තුනකට බෙදලා එක් කොටසක් 2022 ජනවාරි වලත් 2 සහ 3 කොටස් 2023 ජනවාරි වලත් ලබා දෙන්න කියන එක තමයි. අපි ඊට එකතාවය ප‍්‍රකාශ කළේ නැහැ. අපි ඉල්ලා සිටියේ කොටස් හතරම එකට දෙන්න කියන එක තමයි.

ප‍්‍රශ්නය – ආණ්ඩුව ප‍්‍රකාශ කරන්නේ ගුරු සංගම් යෝජනා කරන ආකාරයේ වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට මුදල් නොමැති බව තමයි. ආණ්ඩුවක් සෑම විටම ජනප‍්‍රිය තීන්දු ගන්න කැමතියි. එසේ තිබිය දී ඔබලාගේ යෝජනා ආණ්ඩුව මෙම අවස්ථාවේ ප‍්‍රතික්‍ෂේප කරන්නේ ඇත්ත වශයෙන්ම මුදල් නොමැති වීම නිසා විය නොහැකිද?

පිළිතුර – ආණ්ඩුව මේ අවස්ථාවේදී කියන්නේ මෙම වැටුප් වැඩි කිරීම සඳහා බිලියන 30 ක් නැහැ කියන එක තමයි. නමුත් ආණ්ඩුව ප‍්‍රධාන වශයෙන්ම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට සහ උපසභාපතිවරයාට ලක්‍ෂ 1200 ක් දෙනවා. ඒ සඳහා වෙන වෙන ආයතනවලින් මුදල් වෙන් වෙනවා. මැතිවරණ ඉලක්ක කරගෙන තමයි එම කටයුතු කරන්නේ. ඒ වගේම පොදු ව්‍යාපාර කාරක සභාවේදී එයාර් ලංකා ආයතනයේ පාඩුව පියවීම සඳහා විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඒ වගේම සීනි බදු වංචාවක් සිදු වී තිබෙනවා. ඒ වගේම අය නොකළ බදු තිබෙනවා. ආණ්ඩුව ඒ වගේ විශාල නාස්තිකාර වියදම් කරනවා.

ඇයි එසේ තිබියදී ගුරුවරයා තෘප්තිමත් වන ආකාරයේ වැටුප් වැඩි කිරීමක් සඳහා මුදල් වෙන් කරන්න බැරි. ගුරු සේවයේ වැටුප් වැඩි කිරීම නිසා ගුණාත්මක වර්ධනයක් ඇති වෙනවා. ගුරු සේවය ගුණාත්මකව ඉහළට ගැනීම සඳහායි අපේ මේ අරගලය. වැටුප් පමණක් නොවෙයි. සේවා තත්ත්වයත් ඉහළට අරගෙන ඒ සඳහා වෘත්තීය සභාවක් හදලා ඒ තුළින් පාලනය වන ගුරු සේවාවක් හදන්න කියන එක තමයි අපි කියන්නේ. ඒ සඳහා මුල් තැනක් දෙන්න බැරි ඇයි කියන එක තමයි අපි අහන්නේ.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment