පාසල් දරුවන් පසුපස වැටුණු රකුසු හෙවණැල්ල

1775

මෑත කාලය වන විට විවිධාකාරයේ සමාජ ගැටලු රාශියක් ශ්‍රී ලංකාවෙහි දැකගත හැකි වෙයි- ඒ අතර නොයෙකුත් ආකාරයේ අපරාධ, ලිංගික අපයෝජන, විරැකියාව, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය, පවුල් බිඳී යෑම, ගෘහස්ථ හිංසනය, සියදිවි නසා ගැනීම්, මානසික රෝග යනාදී ගැටලු ප්‍රමුඛත්වයට පැමිණ ඇත- මෙම හේතුන් නිසාවෙන්ම අද්‍යතන මිනිසාගේ සමාජීය වටපිටාව පිරිහීමට පත්ව ඇත-

උක්ත සඳහන් කළ සමාජීය ගැටලු අතුරෙන්ද මේ වන විට වඩාත් බරපතළම සමාජ ගැටලුව බවට පත්ව ඇත්තේ පාසල් යන වයසේ පසුවන දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමයි- පසුගිය වසර කිහිපය පුරාම පාසල් වියේ දරු දැරියන් මත්ද්‍රව්‍යය ළඟ තබා ගැනීම, භාවිත කිරීම ආදී චෝදනාවලට ලක්වූ අයුරු වාර්තා වුණි-

අතීතයේ පටන් වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් ලෙසින් ලෝක ප්‍රජාවේ අවධානයට පාත්‍ර වන පිහිටීමක් පවතින නිසාවෙන්ම මේ වන විට මත්ද්‍රව්‍ය හුවමාරු කරගන්නා ජාවාරම්කාරයන්ගේ තිප්පළක් බවට ලංකාව පත්ව ඇත- එවැනි පසුබිමක් පවතින වාතාවරණයක මෙරට ආර්ථිකයෙන් ද පීඩා විඳින මිනිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වේගවත් වීමට හේතු වී ඇති බව ද නොරසකි- පෙර දිනක ප්‍රචාරණය වූ පුවතක සිය දරුවන්ට ආහාර ලබා දීමට හැකියාවක් නොමැති දරිද්‍රතාවයෙන් පෙළෙන දිළිඳු මවක් දරුවන්ට මත් පෙති ලබා දී නින්දට යැවූ ඉතා ශෝකජනක ප්‍රවෘත්තියක් අසන්නට ලැබිණි-

දරිද්‍රතාව හේතුවෙන්ම බොහෝ මිනිස්සු තම දුෂ්කර යථාර්ථයෙන් බේරීමට මත්ද්‍රව්‍යවලට යොමු වෙති-

කුසගින්න, විරැකියාව, නිවාස නොමැතිකම වැනි ගැටලුවලින් තාවකාලිකව මිදීමට ඔවුන් මත්ද්‍රව්‍ය තෝරා ගත්තද එය අවසානයේ ඇබ්බැහියක් බවට පත්වනු ඇත-

ලෝකයේ භාවිත කරන දරුණු මත්ද්‍රව්‍ය අතර කොකේන්, අබින්, හෂීස්, අයිස් සහ හෙරොයින් ආදිය ප්‍රධාන තැනක් ගනියි- මේ වන විට අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය මෙරට පාසල් දරුවන් අතර සූක්ෂම ලෙස බෙදා හරිමින් දරුවන් ඒ වෙතට ඇබ්බැහි කර ගැනීමට මත් ද්‍රව්‍ය බෙදා හරින්නන් කටයුතු කරමින් සිටියි-

එසේම ඉතාම රහසිගත ආකාරයෙන් මෙම ව්‍යාපාරය කරගෙත යෑමට මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් සමත්ව ඇත- පැණි බීම, ටොෆි, චොක්ලට් ආදී කෑමවලට ගංජා, දුම්කොළ ආදී විවිධ මත්ද්‍රව්‍ය අඩංගු කරමින් පාසල් ළමුන්ට විකිණිම මෙම ජාවාරම්කරුවන් එක් උපක්‍රමයකි- දිනක් හෝ දෙකක් පුංචි දරුවන් අතට නොමිලයේ මත්ද්‍රව්‍ය ලබා දී පසුව දරුවන් ඒ සඳහා ඇබ්බැහි වූ පසු සුළු මිලක් අය කරයි- අනතුරුව මිතුරන් ද ඒ සඳහා පෙළඹවීමට උපදෙස් ලබා දෙයි- මෙලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ දරුවන් මත්ද්‍රව්‍ය නොමැති අවස්ථාවල යම් යම් රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ග ද මත් වීමට භාවිත කළ අවස්ථා වාර්තා වී ඇත- ඔවුන් කෙතරම් මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වී ඇතිද යන්න පැහැදිලි කිරීමට වෙනත් අටුවාටීකා අවශ්‍ය නොවන බැව් එමගින්ම පැහැදිලි ය-

රටේ අනාගතය දරුවන් මත තීරණය වේ- පාසල් සිසුන් යනු රටක අනාගත ශක්‍යතාව වන අතර ඔවුන් වර්තමාන හර පද්ධතීන් හා වටිනාකම් සුරක්ෂිතව අනාගතයට ගෙන යන පිරිසකි- උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම පියෙකුගේම ඒකායන අභිප්‍රායයි- ඒ සඳහා නොපිරිහෙළා ගුරුභවතුන් ද වෙහෙස වෙයි- එවන් වූ අහිංසක මල් කැකුළුවල අනාගතයට වර්තමානයේ සිදුව තිබෙන ඛේදවාචකය ඉතාම දරුණු ය- එක් අතකින් මත්ද්‍රව්‍ය රට තුළ පිළිලයක්ව මුළු මහත් සමාජයම ගිල ගනිමින් පවතියි- මෙවන් සමාජයක දරුවෙකුවෙතුගේ ආරක්ෂාව පිළිබඳව වැඩිහිටියන් කොතරම් පරික්ෂාකාරී විය යුතු ද යන්න පැහැදිලි වේ- මේ වන විට පාසල් යන දරුවා පාසල තුළින්ම මත්ද්‍රව්‍යවලට යොමු වේ-

විශේෂයෙන්ම නව යොවුන් වියේ පසුවන පාසල් දරුවන් එම වයස් සීමාවෙහි දී සිදුවන කායික සහ මානසික වෙනස්වීම් සමඟ අභියෝගාත්මක නව අත්දැකීම් ලබා ගැනීමට බෙහෙවින් කැමැත්තක් මෙන්ම නැඹුරුවක් දක්වයි- එනිසාවෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉතාම පහසුවෙන් මෙම වයස් කාණ්ඩයේ දරුවන් මත්ද්‍රව්‍යවලට පොළඹවා ගැනීම අවකාශය පවතියි- තම වයස ඉක්මවා ගිය වයසින් වැඩි මිතුරන් ආශ්‍රය කිරීම ද ඇතැම් අවස්ථාවල දරුවන් මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ගැනීමට පෙළඹීමට හේතු විය හැකි ය- විශේෂයෙන්ම පාසල් යන වයයේ දරුවන් සිටින දෙමාපියන් සිය දරුවන් ඇසුරු කරන්නේ කවුරුන් ද? සහ යන ගමන් බිමන් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු ය- මිතුරු සමාජ බලපෑම්, සමාජයේ පවතින ආකල්ප, මාධ්‍ය මගින් සිදු කරන යම් යම් පෙළඹවීම්, පහසුවෙන් ලබා ගත හැකි වීම වැනි කරුණු දරුවන් මත්ද්‍රව්‍ය කෙරෙහි පෙළඹවීමට බොහෝ ඉවහල් විය හැකි ය-

කෙසේ වුවද ළමයින් කෙරෙහි අවධානය දැක්වීමේ දී ක්‍රමවත්ව, පරීක්ෂාකාරීව රිදවීමක් නොවන අයුරින් කිරීමට දෙමාපියන් වගබලා ගත යුතු ය-

එසේම වර්තමානයේ දරුවන් අතිශය පීඩාවට පත් කරනු ලබන තරගකාරී අධ්‍යාපන රටාව ද දරුවන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමු වීමට තවත් එක් වක්‍රාකාර හේතුවක් වන බැව් නිශ්චය කළ හැකි ය- එකිනෙකා අභිබවා යමින් විභාග සහ ලකුණු මත පමණක් දිව යන දරුවන්ගේ ජීවිත දැඩි ආතතියකින් පිරී තිබේ-

නිදහස ද ඒ සමඟ සීමා වී ඇත- එම ආතතියෙන් ඇති කරන පීඩාව සමනය කර ගැනීමට දරුවන් පෙළඹෙන තාවකලික භයනක විසඳුම ලෙස ඇතැම් දරුවන් තෝරා ගෙන ඇත්තේ මත්ද්‍රවයයි-

දෙමාපිය, වැඩිහිටි සෙනෙහස රැකවරණය අහිමි වී යෑම, නිසි මග පෙන්වන්නෙක් නොමැතිකම වැනි කාරණා ද දරුවන් මත්ද්‍රව්‍ය වෙත නැඹුරු වීමට හේතු විය හැකි ය-

මත්ද්‍රව්‍ය භාවිතයේ ආබාධ පුළුල් පරාසයක කෙටි හා දිගු කාලීන සෞඛ්‍ය බලපෑම් සමඟ සම්බන්ධ වේ. මත්ද්‍රව්‍ය වර්ගය, එය කොපමණ සහ කොපමණ වාර ගණනක් භාවිතා කරන්නේද?, පුද්ගලයාගේ සාමාන්‍යය සෞඛ්‍යය අනුව ඒවා වෙනස් විය හැක. සමස්තයක් වශයෙන් ගත් කල, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ යැපීමෙහි බලපෑම් දුරදිග යා හැකිය. ඒවා මිනිස් සිරුරේ සෑම අවයවයකටම පාහේ බලපෑම් කළ හැකිය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් ඇති වන කායික සහ මානසික අතුරු ආබාධ රාශියකි- ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිසා රෝගාබාධ හා ආසාදන අවදානම වැඩි වීම, අසාමාන්‍ය හෘද ස්පන්දන වේගය සහ හෘදයාබාධ ඇති වීම, ඔක්කාරය හා උදර වේදනාව ඇති වීම, ආහාර අරුචිය, බර අඩු වීම, මානසික ව්‍යාකූලත්වය, කාංසාව, මතක ශක්තිය හීන වීම යනාදිය ඉන් කිහිපයක් පමණි-

මත්ද්‍රව්‍ය භාවිතාවේ වඩාත් දරුණුතම ප්‍රතිවිපාකය මරණයයි-

සමාජයෙන් මත්ද්‍රව්‍ය ඉවත් කිරීම අද ආරම්භ කර හෙට දින වන විට අවසන් කළ හැකි හෝ මර්දනය කළ හැකි දෙයක් නොවේ- එයට නිසි දීර්ඝ කාලීන ක්‍රමවේදයක් මෙන්ම ප්‍රතිපත්තියක් පැවතිය යුතුය- විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය දිව්‍යලෝකයේ වෙස්වලාගෙන අපායට ගෙන යන අයුරු එනම් මත්ද්‍රව්‍ය භාවිතයේ අවදානම දරුවන්ට පැහැදිලි කර දිය යුතු ය- ඒ පිළිබඳව දරුවන් සමඟ සන්නිවේදනය විවෘතව තබාගෙන ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම ද වැදගත් ය- දෙමාපියන් වැඩිහිටියන් වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමෙන් දරුවන්ට හොඳ ආදර්ශයක් ලබා දිය හැකි ය- දරුවාට මුහුණ දීමේ සහ ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කර ගැනීමට උදවු කිරීම ද පාසලෙන් පිටතදීත් ධනාත්මක ක්‍රියාකාරකම් සහ රුචිකත්වයන් වර්ධනය කිරීමට දරුවන් උනන්දු කළ යුතු ය-

ඒ හැරුණු විට පාසල් මට්ටමින් දරුවන් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් නිර්මාණය කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණය සහ එහි වැදගත්කම පිළිබඳ සිසුන්ගේ මනසේ වඩාත් අවධාරණය වන පරිදි දැනුම් පරිචයක් පාසල් විෂය නිර්දේශයට ද ඇතුළත් කිරීම ද කාලෝචිත ක්‍රියාවක් යැයි පැවසිය හැකි ය-

දරුවෙකු පාසල තුළදී හෝ පන්තිකාමරයේ දී හැසිරීම් රටාවේ යම් වෙනසක් ගුරුතුමා හෝ ගුරුතුමිය දකින්නේ නම් ඒ බව දෙමව්පියන්ට පෞද්ගකලිකව දැන්වීම වඩාත් සුදුසු වන අතර අන් කවරදාකටත් වඩා ගුරුවරුන් පාසල් දරුවන් කෙරෙහි අවධානයෙන් සිටීම ද අතිශය වැදගත් වේ-

විවිධ මාධ්‍ය භාවිත කර වඩාත් නිර්මාණශීලී වැඩසටහන් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති භයානක තත්ත්වයන් පැහැදිලි කිරීමට කටයුතු කළ හැකි ය- එසේම කිසිදු විටක මත්ද්‍රව්‍ය භාවිතය ඉස්මතු කරන දර්ශන, වැඩසටහන් විකාශනය කිරීමෙන් වැළකිය යුතු ය- විශේෂයෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය දැඩි ලෙසම ක්‍රියාත්මක කිරීම අනාගත දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන ආයෝජනයකි-

“ඇහේ ඉහේ තබා දරුවන් හැදිය යුතු ය” යැයි යන ජන ව්‍යවහාරය සමාජයේ පවතින්නේ අතීතයේ පටන් ය- එසේම දරුවන් යනු ප්‍රවේශමෙන් රැක බලා ගත යුතු පිරිසක් බැව් උක්ත ව්‍යවහාරයෙන්ම මනාව පසක් වනු ඇත- කෙසේ වුවද එම කියමන එදාටත් වඩා සුදුසු වන්නේ අදට ය- පෙර නොවූ විරූ තරමින් රට පුරාම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක පාසල් යන වයසේ පසුවන කුඩා දරුවන් මෙම ආක්‍රමණයෙන් මුදා ගැනීමට වඩාත් උත්සුක විය යුතු ය- එය වත්මන් සමාජයේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේ ය- දැය සුවඳවත් කරමින් සුපිපෙන සොඳුරු මල් වැනි දරුවන් මතින් විකල්ව අකාලයේ මිලින වන අවාසනාවන්ත ඉරණමෙන් ඔවුන් මුදා ගැනීමට පියවර ගැනීම සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ වගකීමකි-

දුලාංජලී ශර්මිලා බටේපොල
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment