පාසල් වෑන් ගාස්තු 8%කින් පහළට

134

පාසල් වෑන් රථ ගාස්තුව ලබන මැයි ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ සිට සියයට අටකින් අඩුකරන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) පැවසීය.

රජය ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමග පාසල් වෑන් රථ සංගම් හා දෙමාපියන් සමග පෙරේදා (29 දා) සවස පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹි බවද හෙතෙම කීය.

දිවයින පුරා පාසල් වෑන් රථ හා බස් රථ තිස්අටදහසකට අධික සංඛ්‍යාවක් ඇති බවත්, සිය වෘත්තිකයන් ගැටලු රැසක් මැද ජීවත් වන බවත් හෙතෙම කීය. ඉන්ධන මිල සංශෝධනය කළද පාසල් වෑන් රථවලට අදාළ ටයර්, බැටරි හා අමතර කොටස් මිල ගණන් සියයට තුන්සියයකින් ඉහළ නැඟ ඇතැයි ද හේ කියා සිටියේය. එසේම පාසල් වෑන් රථවල ආදායම් බලපත්‍ර ගාස්තුව ද ඉහළ නංවා ඇති බවත් සඳහන් කළ හෙතෙම සිය වෘත්තිකයන්ගේ ගැටලුවලට ඉක්මනින්ම සහනයක් ලබාදෙන්නැයි ද රජයෙන් ඉල්ලීමක් කරන බවද කීවේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment