පාසල් වූෂු ක්‍රීඩකයෝ මදන මෝදක කෑමෙන කුලියාපිටියේ උණුසුම් තත්ත්වයක්

357

කුරුණෑගල පැවති වූෂු තරඟාවලියකට සහභාගී වී යළි පාසල වෙත යමින් සිටි සිසුන් පිරිසක් කුලියාපිටිය නගරයේදී මදන මෝදක ගුලි කා ඇතිව තිබූ තත්ත්වය උණුසුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය.

ඉකුත් පොහෝ දිනයේදී එසේ පැවති තරඟාවලියක් අවසන් කරමින් වයස අවුරුදු 14, 15 හා 16 ආදී වයස් වල සිසුන් කණ්ඩායමක් මෙසේ මත්ගුලි ගිල දැමීම නිසා මොවුන් සමග පැමිණි දෙමාපියන් කලබලයට පත්ව තිබිණි. මේ හේතුවෙන් බස් නැවතුමේ නිලධාරීන් හා බස්රථ සේවක මහතුන්ද ඊට වහා මැදිහත්ව විණි.

පසුව එක් සිසුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කණ්ඩායමේ දෙදෙනකු හැරුණු කොට සියලුදෙනාම එකක් රුපියල් දෙසීය බැගින් වූ මුදලකට නගරයේ සිංහල බෙහෙත් වෙළඳ සැලකින් මෙම මදන මෝදක මිලදී ගත් බවත්, ඇතැම් සිසුන්ගේ මුඛයේ තවමත් එම ගුලි ඇති බවත් පැවසීය. එහිදී එක් මවක් ඒ පිළිබඳව පරීක්‍ෂා කිරීමේදී බොහෝ දෙනෙකු තම මුඛය තුළ රඳවාගෙන තිබූ මෝදක ගුලි වීසි කළ අතර සමහරුන් ඉක්මණින් ගිලදමනු දැකගත හැකිවිය.

එම සිසුන් භාරව පැමිණ තිබූ පාසලේ නියෝජිත වරිය ඒ අවස්ථාවේ නොසිටි අතර කඳානෙගෙදර පොලිස් වසමේ විදුහලක සිසුන් පිරිසක් එසේ මත්ගුලි මිලටගෙන තිබිණ.

එහිදී දෙමාපියන් අදාළ මත්ගුලි විකිණූ ස්ථානයට ගොස් දොස් පැවරීමට උත්සාහ කර තිබූ අතර ඔවුන් පැවසූයේ කිහිපවරක් ඒ පිළිබඳව අදාළ අංශ දැනුම්වත් කළද කිසිදු ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවයි. එමෙන්ම උපකාරක පන්ති පැමිණෙන බොහෝ සිසුන්ට අදාළ වෙලඳසැල්වල එසේ මත්ගුලි අලෙවි කරන අතර ඒ පිළිබඳව කිසිවෙකුත් නෑසූ කන්ව සිටීම අනාගත දරු පරපුරේ අවාසනාව බවද ඔව්හු පැවසූහ.
කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment