පාසල් සිසුන් පැද්ද පහුර පෙරළී දෙදෙනෙක් මරුට

321

නවගමුව, තුන්අඳහේන, අක්බාර් වත්ත ප්‍රදේශයේ ජලයෙන් පිරී තිබූ විශාල ගල් වළක පහුරක් පැදීමට ගිය පාසල් සිසුන් දෙදෙනකු එම පහුර පෙරළීමෙන් දියේ ගිලී මරුමුවට පත් වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙලෙස අවාසවාන්ත අන්දමින් මියගොස් ඇත්තේ කඩුවෙල, කොරතොට, තුන්අඳහේන පදිංචිව සිටි නඳුන් ඉඳුවර (12) සහ කනත්ත දේවගේ සඳුන් නිම්සර (15) නමැති සිසුන් දෙදෙනෙකි. මොවුන් අතුරුගිරිය මහාමාත්‍ය ජාතික පාසලේ නවය හා දහය ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි.

පවතින වර්ෂාපතනයත් සමග තුන්අඳහේන, අක්බාර් වත්ත ප්‍රදේශයේ ජලයෙන් පිරී තිබූ ගල් වළේ පහුරක් පැදීමට මෙම සිසුන් දෙදෙනා ගොස් තිබේ. පසුව පහුරක් පදිමින් සිටිය දී එම පහුර පෙරළී යෑමෙන් දරුවන් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා තිබේ.

දරුවන් දෙදෙනාගේ සෙරෙප්පු සහ ඇඳුම් ගල්වළ අසල තිබෙනු දැක ඇති දරුවන්ගේ මව්වරුන් දෙදෙනා ගල්වළට පැන තිබේ. පසුව ප්‍රදේශවාසීන් පැමිණ එම මව්වරුන් දෙදෙනාව මහත් පරිශ්‍රමයක් දරා ගොඩට ගෙන තිබේ. අනතුරුව දරුවන් දෙදෙනාව ගොඩට ගෙන රෝහල්ගත කිරීමට පිරිස පියවර ගෙන තිබිණි.

අතුරුගිරිය ඔරුවල රෝහලට ඇතුලත් කළ දරුවන් දෙදෙනා පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් ඔවුන් මියගොස් ඇති බව පවසා තිබේ.

මියගිය සිසු දරුවන් දෙදෙනාගේ හදිසි මරණ පරීක්‍ෂණය තලංගම හදිසි මරණ පරීක්‍ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් පැවැත්වුවාය.

දෙමාපියන් තම දරුවන් ගැන මීට වඩා අවධානය යොමු කරන්න ඕන. ඔවුන් මොනවද කරන්නේ කියන කාරණාව ගැන නිරන්තරයෙන්ම දෙමාපියන් අවධානයෙන් ඉන්නවනම් මේ වගේ අවාසනාවන්ත සිද්ධි අපිට අහන්න දකින්න වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවකම තමන්ගේ දරුවන් ගැන දෙමාපියන් අවධානයෙන් සිටීම වැදගත් යැයි හදිසි මරණ පරීක්‍ෂිකා ප්‍රේමලතා මහත්මිය ‘දිවයින’ට පැවසුවාය. සිසු දරුවන් දෙදෙනාගේ මරණයෙන් ප්‍රදේශයම එකම මළගමක් බවට පත්වී තිබේ.

මේ පිළිබඳව නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රුවිත් ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් රෝහිත (56922) වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සුගත් ප්‍රේමතිලක – කඩුවෙල සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment