පාසල් සේවයට දුන් ලේලන්ඩ් බස් 80ක් ලංගම එපා කියයි

338

වෑන් රථවලින් දරුවන් පාසල් එවීමේ දී දෙමාපියන් මුහුණ දෙන ආර්ථික ගැටලු මඟහැරවීම සඳහා පාසල් බස් රථ ලෙස ධාවනයට එක්කිරීමට රජයට කොටස් අයිතිය හිමි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් ඉතාම අඩු මුදලකට බස් රථ අසූවක් ලබා ගැනීමට කටයුතු කළද එම බස් රථ භාරගැනීම ලංගම ඉංජිනේරුවන් විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

එම සමාගම සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ඉකුත් 2017 වසරේ පැවැති ඩොලරයේ අගයට අනුව අදාළ බස් රථ ලබාදීමට එකඟ වීමෙන් පසු කැබිනට් මණ්ඩල අනුමැතියද සහිතව ඒවා ගෙන්වනු ලැබුවත් අදාළ බස් රථ අසූව ජාත්‍යන්තර ප්‍රමිතියට නැතැයි පවසමින් ලංගම ඉංජිනේරුවන් ඒවා ප්‍රතික්‍ෂේප කළ බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එකක් රුපියල් ලක්‍ෂ අනූවක් පමණ වටිනා මෙම බස් රථයක් අශෝක් ලේලන්ඩ් සමාගම මගින් ලබා දුන්නේ එකක් රුපියල් ලක්‍ෂ හතළිහක පමණ මිලකට බවත් එම මුදලද පොලී රහිතව වසර හතරකින් ගෙවීමට අවස්ථාව සලසා දුන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ (06වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

ලංගම ඉංජිනේරුවන් මෙම බස් රථ ලබාගැනීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් මේ වන විට ඒවා මිලදී ගැනීමට හැකියාව ඇති පාසල්වලට සහ විශ්වවිද්‍යාලවලට ලබාදීමට තීරණය කර තිබෙන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment