පාසල් හොකී රන් කණ්ඩායමට ඉස්තරම් ජයක්

108

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද ජාතික කනිෂ්ඨ වයස අවුරුදු 21 න් පහළ කාන්තා හොකී තරගාවලියේ ශූරතාව තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පාසල් “රන්” කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජාතික කනිෂ්ඨ කාන්තා හොකී තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය සතු වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

කොළඹ විශාඛා විදුහල, කොළඹ කාන්තා විදුහල, කොළඹ බිෂොප් විදුහල, මහනුවර සීතාදේවී බාලිකා විදුහල, මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහල, මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල, නාවල ජනාධිපති බාලිකා විදුහල සහ මහනුවර මහාමායා බාලිකා විදුහල් තුළ අධ්‍යාපනය හදාරණ ක්‍රීඩීකාවන් මෙවර ශ්‍රී ලංකා පාසල් “රන්” කණ්ඩායම නියෝජනය කළහ. ඉකුත් වර ශූරියන් වූ වෙන්නප්පුව හොකී සංගමයට මෙවර තරගාවලියේ අනුශූරතාව හිමිවූ අතර තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට ආරක්ෂක සේවා හොකී සංගමයට සිදු විය. ශ්‍රී ලංකා පාසල් “රන්” සහ වෙන්නප්පුව අතර පැවැති තීරණාත්මක අවසන් තරගයේදී ගෝල 02 – 01 ක තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් ඒ සඳහා පිරිනමන ලද “රෝයි ද සිල්වා අභියෝග කුසලානය” ට හිමිකම් කියන්නට පාසල් ක්‍රීඩිකාවෝ සමත්වීම කැපී පෙනුණි.

තරගය ඇරඹි ප්‍රථම භාගයේ දී දෙපිලම ලකුණු 01 – 01 ක් ලෙස සම තත්ත්වයක පසුවිය. කොළඹ සංගමය ගෝල් 04 – 00 ක් ලෙස පරාජය කිරීමට සමත් වූ ආරක්ෂක සේවා පිලට දෙවන අනු ශූරතාව හිමි විය. අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා පාසල් (රන්) කණ්ඩායම හමුවේ ආරක්ෂක සේවා පිල ගෝල් 01 – 00 කින් ද වෙන්නප්පුව සංගමය හමුවේ කොළඹ සංගමය 05 – 00 කින් ද පරාජයට පත්විණි. මහනුවර දිස්ත්‍රික් හොකී සංගමයේ පූර්ණ සංවිධාන ශක්තිය ඇතිව මෙවර තරගාවලිය ශ්‍රී ලංකා හොකී සම්මේලනය විසින් මෙහෙයවන ලදී,

advertistmentadvertistment
advertistmentadvertistment