පාසල වල්අලි සහ රිළවුන්ගේ රජදහනක්: රිළව් නිසා දරුවන්ට වැසිකිළි යන්නත් නෑ…!

243

පාසල් දරුවන්ගේ ජීවිත අනතුරේ…

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ඇල්ලේවැව මහ විදුහලේ ළමුන්ගේ ජීවිතවලට වල්අලි සහ රිළවුන් දැඩි බලපෑමක් ඇති කරන බව එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල ජයවර්ධන මහතා පැවසීය.

“වල්අලි නිසා ඇල්ලේවැව මහ විදුහලේ දරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වී තිබෙනවා. ළමයි උදේ පාසලට එනවිටත් අලි පාසල් වත්තෙ සිටිනවා. උන් සමහර දවස්වලට යන්නේ ඉස්කෝලෙ පටන් ගත්තටත් පස්සේ. අලි කරදරය නිසා ශිෂ්‍ය භට සහ ක්‍රීඩා පුහුණුවීම් කරන ළමයින්ට කවදාවත් උදේ පුහුණුවීම්වලට එන්න විදිහක් නෑ. හවස හතර පහ වෙනකොට අලි ගම්වදින නිසා අමතර පන්තියකට දරුවෝ ඉස්කෝලේ තියාගන්න විදිහක් නැහැ. ඉස්කෝලේ වත්තේ කිසිදු වගාවක් කරන්න විදිහක් නැහැ.

රිළවුන්ගෙන් තියෙන කරදරය අලි කරදරයට දෙවැනි නෑ. ඉස්කෝලෙ පටන් ගන්නකොට රිළව් සියයක විතර රංචුවක් එනවා. ළමයි පන්තියෙන් එළියට යන තුරු බලන් ඉඳලා රිළව් පන්තිවලට පනිනවා. එහෙම පැනලා දරුවන්ගේ බෑග් අරං ගස් උඩට යනවා. ඒවායෙ තියෙන කෑම පාර්සලය අරගෙන පොත්පත් සීසීකඩ විසි කරනවා. ඇල්ලේවැව ළමයින්ට පාසල් කාලය තුළ වැසිකිළියට යන විටත් පාසල් බෑගය කරේ දමාගෙන යන්න සිදුවී තිබෙනවා.

ගැහැණු ළමුන් පමණක් පන්තිවල සිටින අවස්ථාවල රිළව් ළමුන් බයගන්වා පන්තියෙන් පන්නා දමනවා. ඊට පස්සේ කෑම උදුරගෙන කනවා. මේ තත්ත්වය දරුවන්ගේ ජීවිතවලට දැඩි අවධානමක් වී තිබෙනවා. අලුත් පාසල් වාරය පටන් ගන්නකොටවත් මෙම ප්‍රශ්නවලට ස්ථීර විසදුමක් අවශ්‍යයි.

මෙම ගැටලුව පිළිබඳව දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමාලා වාසලමුදලි මහත්මිය මෙසේ පැවසුවාය.

“දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ඇල්ලේවැව ඇතුළුව පාසල් වැඩි ප්‍රමාණයකට වනඅලි, රිළව්, වඳුරු, මොණර කරදර තිබෙනවා. කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයටත් මේ කරදර තිබෙනවා. මෙයට කලාප මට්ටමින් විසඳුමක් දෙන්න බෑ. මෙය ජාතික මට්ටමේ ගැටලුවක්.

කෙසේ හෝ පාසල් ළමුන් මෙන්ම ප්‍රදේශවාසී සියලුම ජනතාව පීඩාවට පත්වී තිබෙන මෙම අලි, රිළා, වඳුරු කරදරයට බලධාරීන් කඩිනමින් විසදුමක් ලබාදිය යුතුව ඇත.

දිඹුලාගල – ප්‍රසන්න සිල්වා සහ දෙහිඅත්තකණ්ඩිය – රණතුංග

advertistmentadvertistment
advertistmentadvertistment