පාස්කු ඉරිදා ප‍්‍රහාරය: ඉබ‍්‍රාහිම්ට ඇප නොලැබෙයි

268

පාස්කු ඉරිදා කොළඹ ෂැංගි‍්‍රලා හෝටලය ඇතුළු සංචාරක හෝටල් දෙකකදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගත් ස්වයං ඝාතකයන් දෙදෙනකුගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඉබ‍්‍රාහිම් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනකු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 29 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (08 දා) දින නියම කළේය.

මොහොමඞ් ඉබ‍්‍රාහිම් නමැති විත්තිකරු වහාම කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත්කොට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එදිනට අධිකරණයට වෛද්‍ය වාර්තවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය.

2019.04.21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරන බවට දැනුවත්ව සිටියදීත් ඒ බව පොලිසියට නොදැන්වීම ඇතුළු අධිචෝදනා යටතේ මොහොමඞ් ඉබ‍්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි. එම විත්තිකරුවන් තිදෙනා මේ වනවිට වසර තුනකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග භාරයේ හා රක්ෂිත බන්ධනාගාර භාරයේ රඳවා සිටීම හා පළමුවන විත්තිකරුගේ රෝගී තත්ත්වය මෙන්ම වයෝවෘද්ධභාවය ද සලකා ඇප මත මුදාහරින්නැයි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එකී විත්තිකරුවන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවීම හෝ වයස් සීමාව ඇප දීමට තරම් සුවිශේෂි කරුණක් නොවන බැවින් එම ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment