පාස්කු කොමිසමේ  රහස් සාක්‍ෂි වෙළුම් 87ක් පාර්ලිමේන්තු පුස්තකාලයට

89

පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා සම්බන්ධ රහසිගත සාක්ෂි ඇතුළු වෙළුම් 87ක් සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවලින් මන්ත‍්‍රීවරයන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තැබීමට කටයුතු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (23 දා) මැතිසබයට දැනුම් දුන්නේය.

එම වෙළුම් සියල්ල පෙරේදා (22 දා) දින ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින් කථානායක වෙත භාරදෙනු ලැබූ ඒවා වූ අතර පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී නිවේදන යටතේ මෙම දැනුම්දීම කථානායකවරයා විසින් කරනු ලැබීය. එහිදී වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

2019 අපේ‍්‍රල් 21 වැනිදා සිදු වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගැනීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාවේ විශේෂ අවසරය සහිතව සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවලින් 2021.02.25 වැනිදා සභාගත කරන ලද අතර එම කොමිෂන් සභාවේ සාක්ෂි සටහන්වල වෙළුම් 87ක් 2022. 02. 22 දින මා වෙත භාර දෙන ලද අතර ඒ අනුව, පහත දැක්වෙන එම වාර්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තැබීමට අවශ්‍ය කටයුතු කරනු ලබන බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි.

වෙළුම 2-1 – විවෘත සාක්ෂි, ඒ සිට ඩබ්ලිව් දක්වා ද,

වෙළුම 2-2 – රහසිගත සාක්ෂි, ඒ සිට ඞී දක්වා ද,

වෙළුම 2-3 – කොටසක් විවෘත, කොටසක් රහසිගත සාක්ෂි ඒ සිට එල් දක්වා ද,

වෙළුම 3 – සාක්ෂිවලට අදාළව ”වී” ලෙස සලකුණු කරන ලද ලේඛන, 3- 1 සිට 3-18- සී දක්වා ද,

වෙළුම 4 – සාක්ෂිවලට අදාළව ”එක්ස්්” ලෙස සලකුණු කරන ලද ලේඛන, 4- 1 සිට 4-6 දක්වා සහ

වෙළුම 5 – සාක්ෂිවලට අදාළව එක් එක් සාක්ෂිකරුවන් විසින් සලකුණු කරන ලද ලේඛන, 5- 1 සිට 5-7 දක්වා වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment