පාස්කු ඝාතකයා අප අතරද?

809

ඔව්, අපට දැන්වත් පාස්කු ප්‍රහාරය සත්‍යය දැන ගැනීමට අවශ්‍යය. මෙරට සිදු වූ දැවැන්තම ලේ වැගිරීමක් සහ අදටත් විඳවමින් ජීවත්ව සිටිනවුන් වෙනුවෙන්ම පමණක් නොව මෙවැනි බිහිසුණු අපරාධ යළි මෙරට තුළ සිදු නොවීමට වග බලා ගැනීම සහ එවන් අපරාධ කළ වුන් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීමටත් වුවමනා බැවිනි. 2019 අප්‍රේල් 21 වන දින පෙරවරු 08.45ට ඉස්ලාමීය රාජ්‍යයක සිහින මැවූ යැයි කියන උන්මත්තක මුස්ලිම් අන්තවාදින් කිහිපදෙනෙකු කතෝලික පල්ලි සහ සංචාරක හෝටල්වල එකවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හයක් සිදු කරනු ලැබීය. මෙම ප්‍රහාරයෙන් පාස්කු ඉරිදා දේව මෙහෙයන්හි වන්දනාකරුවන්, දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු 269 දෙනකු අමු අමුවේ මිය ගියහ.

එහෙත් මේ ම්ලේච්ඡ ප්‍රහාරය කාගේ හෝ වුවමනාවට වූ කුමන්ත්‍රණයක්, මේ පිටුපස දේශපාලන වුවමනාවක් ඇත්තේය මෙන්ම මෙහි මහා මොළකරුවන්ට වුවමනා වූයේ ගෝඨාභය රාජපක්ෂට බලයට ඒමට මාවත සැකසීම ආදී ලෙස එය මේ වන විට සාරාංශගත වී හමාරය. එහෙත් එය එසේ කාලයේ වැලි තලාවෙන් වැසී යෑමට ඉඩ දිය යුතු අපරාධයක් නොවේ. මේ රටේ පසුගිය කාලය තුළ සිදු වූ මිනී මැරුම්, පහරදීම් විවිධ අපරාධ ඇත්තේ පොළොවෙන් අඩි කිහිපයක් යටවීය. පාස්කු ප්‍රහාරයත් එසේ යට යමින් සිටියදී චැනල් ෆෝ නාළිකාව අසාද් මවුලානා හරහා යළිත් උඩට ඇද්දේය. එය වූ කලී දැන් මෙරට ප්‍රවෘත්ති තුළ සහ සමාජ කතිකාව තුළ ඇත්තේ ඉතාමත් ඉහළිනි. අන්ධයා අලියා විස්තර කරන්නා සේ කලින් කලට අප පාස්කු ප්‍රහාරය පිළිබඳ කියවා ඇත්තේය. ජනාධිපති කොමිසම, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, ශ්‍රීලංකා පොලිසිය පමණක් නොව එෆ්බීඅයි ආයතනය පවා මේ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක කළත් තවමත් අපි ඝාතකයා සොයා ගැනීමට නොහැකිව අඳුරේ අතපාත ගාමින් සිටී. මෙම ප්‍රහාරයට වගකිවයුතු ඝාතකයා උන්මත්තක සහරාන් හෂීම් නමැති අධමයාම ම පමණක් නොවන බව අපත් පිළිගන්නෙමු. මෙහි නියම ඝාතකයන් වන්නේ සහරාන් ව ඊට පෙළඹූවන්ය. ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළ සහ උදව් උපකාර කළ වුන් බවට සැක නැත. එහෙත් ඒ කවුරුන්දැයි යන්න තවමත් නිල වශයෙන් අපට සොයා ගත නොහැකි වී තිබේ. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක ඇමැති වශයෙන් සිටියදී කියා සිටියේ මෙම ප්‍රහාරයේ මහමොළකරු තෝරා ගත් බවය. එහෙත් එය පිළිගත් කෙනෙකු මේ සමාජයේ නැත. තෝරා ගන්නා ලද අයකු නොව මෙහි සැබෑම මහ මොළකරුවකු සොයා ගැනීමට දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන්වත් අවශ්‍ය වේ. එසේ නොමැතිව ඝාතකයන් කවුදැයි කියා හරියට නොදැන කා බී සිටින්නේ නම් අපි කරනුයේද බලවත් වරදකි. අපද එම ඝාතකයන් සමග මෙම සමාජයේ තවමත් හුස්ම ගනිමින් සිටී. එම ඝාතකයා මීට සුළු මොහොතකට පෙර අපේ දරුවන් අකුරු කරනා පාසලක් ඉදිරිපිටින් ඇවිද යන්නට ඇත. ඊටත් මොහොතකට පෙර ඔවුන් අපගේ දෙමාපියන් දෙවියන් බුදුන් අදහන පන්සල, පල්ලිය අභියසින් නැවත ගමන් කළා වෙන්න පුළුවන. එහෙත් අප තවමත් ඔවුන් ගැන හරි හැටි දන්නේ ද නැත.

වසර හතරක් ඉක්මවා ඇතත් මේ ඝාතකයන් ගැන හෙළි කිරීම ප්‍රධාන වශයෙන්ම ප්‍රහාරය එල්ල වන විට යහපාලන ආණ්ඩුවේ අගමැති වූ වත්මන් ජනාධිපතිගේ වගකීමකි. එය ආණ්ඩුවේ ද යුතුකමකි. අධිකරණය, පාර්ලිමේන්තුව, පොලිසිය, බුද්ධි අංශ ඒ සඳහා පෙරමුණ ගත යුතුය. රබර් බෝලයක් වී දිය යට තිබී විටින් විට මතුවන පාස්කු ප්‍රහාරයේ සැක මුසු තැන් ඒවාට අනුබල දුන්නෝ කවුරුන්දැයි කියා දැන්වත් හෙළි කළ යුතුය. එය තවත් මැතිවරණයකදී හෝ දේශපාලන සංවාදයකදී සාකච්ඡාවට බඳුන් නොකළ යුතුය. එවැනි ප්‍රාථමික සංවාදවලට මෙම අසික්කිත ප්‍රහාරය කටගැස්මක් විය යුතු නැත. විටින් විට චැනල් ෆෝ වැනි නාලිකා තුළ පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තරව බයිට් වීම දැන්වත් නැවතිය යුතුය. එසේ බයිට් වන්නේ අපේ ජනතාවගේ ලේ සහ ජීවිතය. එබැවින් හොඳටම බයිට් වී සිටින මෙරට අහිංසක ජනතාව දැන්වත් එකී බයිට් වීමෙන් වළකා එම සාහසික ඝාතනය කළවුන් ගැන සත්‍යය දැන ගැනීමට ඉඩදිය යුතුය. එය වූ කලී ශ්‍රී ලාංකික ජාතිය සතු අයිතියකි. එම පරම සත්‍යය හෙළි නොකොට පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දෙවියන් වහන්සේ දඬුවම් කරනු ඇතැයි කියා ඇස් වසා සිටීමට තවත් කාලයක් නොමැත. එය අද අදම වහ වහා හෙළිදරව් විය යුතුමය.

advertistmentadvertistment
advertistmentadvertistment