පාස්කු නඩුවට රනිල් – මෛත්‍රී නිසි නියෝජිතයන් පත් කර නෑ

128

පැමිණිල්ලේ නීතිඥවරු උසාවියට කියති

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකරවල විත්තිකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කිසිදු විත්තිකරුවකු මේ වන තෙක් සිය නීත්‍යනුකූල නියෝජිතයන් නිසි ලෙස පත් කර නැති බව පැමිණිල්ලේ නීතිඥවරු ඊයේ (29දා) මීගමුව දිසා විනිසුරු වෙත දැනුම් දුන්හ.

පාස්කු ඉරු දින කටුවාපිටිය දේවස්ථානයේදී සිදු කළ බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් විසින් පවරා ඇති වන්දි නඩුකර 10ක් ඊයේ දින මීගමුව දිසා විනිසුරු ලලිත් පී. කන්නන්ගර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා ප්‍රකාශ කර සිටියේ මෙම නඩු පවරා වසර එකහමාරකට වඩා වැඩි කාලයක් ගත වී තිබුණ ද කිසිදු විත්තිකරුවකු සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ 393(1) වගන්තිය යටතේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය කාර්යයක් වන තම නීත්‍යනුකූල නියෝජිතයන් පත්කිරීම මේ වන තෙක් සිදු කර නොමැති බවයි. සිවිල් නඩුවක පාර්ශ්වයක් ලෙස නම්කර ඇති ස්වභාවික පුද්ගලයකු මියගියහොත් ඔහු වෙනුවෙන් නඩුව පවත්වාගෙන යෑම සඳහා නීත්‍යනුකූල නියෝජිතයෙකු පත්කිරීම නීතිය අනුව අත්‍යවශ්‍ය පියවරක් බව ද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ඒ අවස්ථාවේ දී අධිකරණයට පැවසීය. ඒ අනුව මෙම නඩුකරවල විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින නීතිපතිවරයා හැර අනෙකුත් සියලුම විත්තිකරුවන්ට තම නීත්‍යානුකූල නියෝජිතයන් වහාම පත් කරන ලෙසට නියෝග කරන ලෙසට පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා විසින් ඉල්ලා සිටින ලදී.

ඒ අනුව මෙම නඩුවල විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපත් මෛත්‍රිපාල සිරිසේන, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන අයට සිය නීත්‍යනුකූල නියෝජිතයන් පත්කිරීම සඳහා 2023 ජනවාරි 26 දිනට අවසන් වශයෙන් දින ලබා දීමට අධිකරණය විසින් නියෝග කරන ලදී.

තවද ඊයේ දින මෛත්‍රීපාල සිරිසේන සහ හේමසිරි ප්‍රනාන්දු යන විත්තිකරුවන් වෙනුවෙන් හරස් ඉල්ලීම් සහිතව උත්තර ප්‍රකාශ ගොනුකරන ලදී. තමන් මෙම නඩුකරවල පාර්ශ්වකරුවන් ලෙස නම්කිරීම වැරදි සහගතව සිදු කර ඇති බැවින් එයින් තමන්ට සිදු වූ අගතිය හේතුවෙන් බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් වූ පැමිණිලිකරුවන්ගෙන් වන්දි ඉල්ලා එම හරස් ඉල්ලීම් සහිත උත්තර ප්‍රකාශ ගොනුකර තිබුණි.

ඒ අනුව 2023 ජනවාරි 26 වන දින එම හරස් ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රති උත්තර ප්‍රකාශ කරන ලෙස අධිකරණය විසින් පැමිණිලිකරුවන්ට නියෝග කරන ලදී.

මෙම නඩුකරවලදී පැමිණිලිකරුවන් වෙනුවෙන් දිලුම් ප්‍රනාන්දු, කෞශල්‍යා ප්‍රනාන්දු යන නීතිඥ මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත නීතිඥ ඉන්දික බණ්ඩාර අබේකෝන් සමගින් ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටි අතර පළමු වන විත්තිකරු වෙනුවෙන් දමිතා වික්‍රමාරච්චි, දෙවන විත්තිකරු වෙනුවෙන් ට්‍රවෛා් ප්‍රනාන්දු, උදානි කරුණාරත්න, තුන සහ හතර විත්තිකරුවන් වෙනුවෙන් ලක්ශිකා බක්මීවැව සහ පහ සහ හය විත්තිකරුවන් වෙනුවෙන් ධම්මික සිල්වා යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment