පාස්කු නඩුවලින් ජනපති  රනිල්  මුදාහරී

209

පාස්කු ප්‍රහාරයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පෙත්සම් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට ඒකමතිකව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඬුල්ල ඔහු වගඋත්තරකාර තත්ත්වයෙන් මුදා හැරීමට ඊයේ (26 දා) නියෝග කළහ.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ ඇතුළු සිවු පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී කැඳවිණි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයාට හිමිවී ඇති මුක්තිය අනුව එම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස ඔහුව නම් කර නඩු කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය හැකියාවක් නොමැති බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඉදිරිපත් කළ නීතිමය කරුණු පිළිගත් විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

එම නඩුවේ වැඩිදුර විභාගය ලබන 29 දා යළි ආරම්භ කිරීමට ද විනිසුරු මඬුල්ල නියම කළේය.

සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එකී ප්‍රහාර වළක්වා ගැනීමට අපොහොසත් වීමෙන් සිය රාජකාරි වගකීම් හා යුතුකම් ඉටු කිරීම පැහැර හැරි එවකට ජනධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන, අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ඇතුළු ආරක්ෂක අංශ භාර අමාත්‍යවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment