පාස්කු නඩුවෙන් නම ඉවත් කර ගැනීම: මෛත්‍රිගේ අභියාචනයේ තීන්දුව මාර්තු 1 වැනිදා

77

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය හා බරපතළ තුවාල ලැබූ වින්දිතයන් වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති වන්දි නඩු 108 ක වගඋත්තරකාර ධුරයෙන් තමා ඉවත් කරන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනු කර තිබූ අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව මාර්තු 01 දා දක්වා කල්තැබීමට බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය ඊයේ (22 දා) නියෝග කළේය.

එම අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ඊයේ (22 දා) නිකුත් කිරීමට නියමිතව තිබූ නමුත් එම අභියාචනා ඉදිරිපත් කළ පළමුවන විත්තිකාර මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොතිබීම නිසා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට කල් තැබීමට චමත් නෙරායස් සහ ප්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඬුල්ල නියෝග කළේය.

කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර ඇති වන්දි නඩුවල දෙවන වගඋත්තරකරු ලෙස නම්කොට තිබූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට හිමි මුක්තිය අනුව ඔහු ජනාධිපති ධුරය දරන කාලය සඳහා ඔහු වගඋත්තරකාර භාවයෙන් ඉවත් කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කොට තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා වගඋත්තකාර භාවයෙන් අයින් කරන්නේ නම් හිටපු ජනාධිපතිවරයා වන තමාගේ නම ද වගඋත්තරකාර භාවයෙන් ඉවත් කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂි සිල්වා මහත්මිය විසින් ප්‍රතික්ෂේප කොට තිබිණි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ වරුණ සේනාධීර මහතා සමග ජනාධිපති නීතිඥ සමිත් පෙරේරා මහතා පෙනී සිටි අතර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment