පාස්කු නඩු දෙකෙන් හේමසිරි – පූජිත නිදොස්කොට නිදහස්

340

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් පවරා තිබූ නඩු දෙකේ සියලූම අධිචෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (18 දා)නියෝග කළහ.

චූදිතයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අපරාධ චෝදනා හෝ රාජකාරිය පැහැර හැරීමේ චෝදනා කිසිවක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට නොමැති බවට නිගමනය කළ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඞ් ඉර්සදීන් යන විනිසුරු මඬුල්ල විත්තිකරුවන් දෙදෙනා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කළහ.

චූදිතයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන විට නීතිපතිවරයා (පැමිණිල්ල) මීට වඩා වගකීමකින් යුතුව ක‍්‍රියා කළ යුතුව තිබූ බවත් පාස්කු ප‍්‍රහාරය වැනි ඉතා සංවේදී කරුණකදී හුදෙක් නඩු පැවරීමකින් ඔබබට ගොස් වගකීමකින් කටයුතු කළ යුතුව තිබූ බවත් විනිසුරු මඬුල්ල සිය නියෝගය මගින් පෙන්වා දුන්හ.

නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් සහරාන් හසීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් විසින් 2019.04.21 වැනිදා (පාස්කු ඉරිදා* එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම ඇතුළු අධි චෝදනා 855 ක් බැගින් ගොනුකරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව එකම විනිසුරු මඬුල්ලක් හමුවේදී එම නඩු දෙක වෙන් වෙන්ව පවරා තිබිණි.

එම නඩු දෙකේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය පසුගිය මස 19 වැනිදා සහ 20 වැනිදා අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවා විත්තියේ නඩු විභාගය පවත්වන්නේද නැතහොත් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදහස් කරන්නේද යන නියෝගය ඊයේ (18 දා* නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල දින නියම කර තිබිණි.

ඒ අනුව ඊයේ පෙරවරු 9.45 ට අධිකරණයේ වැඩකටයුතු ආරම්භ කළ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා සහ සෙසු සාමාජික විනිසුරුවරුන් දෙදෙනා ප‍්‍රථමයෙන්ම හේමසිරි ප‍්‍රනාන්දු මහතාට එරෙහිව වූ නඩුවේ නියෝගය ප‍්‍රකාශයට පත් කළහ. පුරා පැයකට ආසන්න කාලයක් ගත කරමින් සිය නියෝගය නිකුත් කිරීම පාදක කරගත් සාක්ෂි සම්බන්ධයෙන් විවෘත අධිකරණය හමුවේදී වෙන් වෙන්ව විශ්ලේෂණය කළ විනිසුරු මඬුල්ල විත්තිකරු හේමසිරි ප‍්‍රනාන්දු මහතාට එරෙහිව නඟා තිබූ අධිචෝදනා 855 න්ම ඔහුව වෙන් වෙන්ව නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළහ. ඉන් අනතුරුව විත්තිකාර පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවද කැඳවා පෙර ලෙසම සභාපතිවරයා ඇතුළු විනිසුරුවන් තිදෙනාම නියෝග ප‍්‍රකාශයට පත් කළේය.

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් රටේ වගකිවයුතු තනතුරු දැරූ දේශපාලන අධිකාරියට වගකීමක් පැවරී තිබුණත් රාජ්‍ය නිලධාරීන් වෙත එකී වගකීම පටලවා නඩු පැවරීම සාධාරණ නොවන බවත් වගකීම් පැහැර හැර ඇත්තේ එවකට රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන බව තම අධිකරණයට පෙනී යන්නේ යැයිද නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඞ් ඉර්සදීන් යන විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ. රටේ එවකට පැවැති දේශපාලන වාතාවරණය අනුව එම විත්තිකරුවන්ට ස්වාධීනව තීරණ ගැනීමේ ගැටලූ පැවතිය බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි මගින්ම තම අධිකරණයට පෙනී ගිය බවත් සිය නියෝගය මගින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල එකී ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව වහාම විමර්ශන සිදුකරන ලෙසට විත්තිකරුවන් ප‍්‍රමාණවත් ආකාරයෙන් උපදෙස් ලබාදී ඇති බව පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි මගින්ම තහවුරු වී ඇතැයිද පෙන්වා දුන්හ.

ප‍්‍රහාර මාලාවක් එල්ලවිය හැකි බවට පිටරටකින් තොරතුරක් ලැබූ නමුත් එය නිසි බුද්ධි තොරතුරක් බවට තහවුරු කර ගැනීමට අසමත් වූ බව එවකට රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන තම අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් පිළිගත් බවත් නිශ්චිත දිනයක් හෝ ස්ථානයක් නොමැති එවැනි තොරතුරක් සම්බන්ධයෙන් විත්තිකරුවන් ඔවුනට ගතහැකි හොඳම පියවර ගෙන ඇති බවත් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ. පැමිණිල්ලේ පළමුවන සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන ඔහු වෙත ලැබුණේ යැයි කියන ප‍්‍රහාර මාලාවට අදාළ තොරතුරු 2009.04.09 වැනිදා පැවැති බුද්ධි සමාලෝචන රැුස්වීමේදී හෝ සාකච්ඡුාවට බ`දුන් නොකිරීම ලිහිල්ව සළකා බැලීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බවත් එම සාක්ෂිකරු රටේ රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ අය වන බවත් ඒ සම්බන්ධයෙන් එදින කටයුතු කිරීමේ හැකියාව ඔහුට තිබූ බවත් විනිසුරු මඬුල්ල එහිදී පෙන්වා දුන්හ. පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම්කොට තිබූ එවකට ජාතික බුද්ධි ඒකකයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතා පැමිණිල්ල වෙනුවෙන් කැඳවිය හැකි හොඳම සාක්ෂිකරුවකු බවට අධිකරණයේ මතය වුවත් කුමන හෝ හේතුවක් මත ඔහුගේ සාක්ෂිය පැමිණිල්ල නොකැඳවූ බවද සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේ විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඔහු වෙත ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව විමර්ශන ගොනු කැඳවා තහවුරු කර ගැනීම සිදුකළ යුතුව තිබුණත් එලෙස නොකර ඔහුට එරෙහිව නඩු පවරා ඇති බවත් එය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය.

විත්තිකරුවන් එකී ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගත් බවට හෝ එකී ප‍්‍රහාර මාලාව එල්ලවී ඇත්තේ ඔවුන්ගේ රාජකාරී පැහැර හැරීම හා නොසැලකිලිමත්භාවය නිසා බවට හෝ කිසිදු සාධාරණ සාක්ෂියක් අධිකරණය හමුවට ඉදිරිපත් නොවූ බැවින් එම විත්තිකරුවන් දෙදෙනාම ඔවුනට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අධිචෝදනා 855 න්ම වෙන් වෙන්ව නිදොස්කොට නිදහස් කිරීමට තම අධිකරණය තීරණය කළ බවත් විනිසුරු මඬුල්ල විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්හ.

නිසි පසු විපරමකින් තොරව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලෙස කටයුතු කළ විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදීම ඉතා බරපතළ කරුණක් වන්නේ යැයිද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දමිතිනි ද සිල්වා මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ ප‍්‍රියංක ගුණරත්න, නිර්මාල් කොඩිතුවක්කු, නිර්මාල් මීරහවත්ත, බුවිනාස් අමුණුගොඩ සහ නීතිඥ එරන්දි අබේනායක මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නීතිඥ මොහොන් වීරකෝන් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිකාර හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටියහ. වසර එකහමාරක පමණ කාලයක් ගතවන එම නඩු කටයුතු දෙකම මාස හතරක් වැනි කෙටි කාලයක් තුළදී අවසන් කිරීමට හැකිවූයේ පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා යන මහත්වරුන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මණ්ඩලයේ මෙන්ම ජනාධිපති නීතිඥ මොහොන් වීරකෝන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල යන මහත්වරුන් ප‍්‍රමුඛ විත්තයේ නීතිඥ මණ්ඩලයේ නොමඳ සහය ලැබීම නිසා වන බැවින් සිය අධිකරණයේ විශේෂ ස්තුතිය ඔවුනට පුදකරන බව සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය. එමෙන්ම සිය සහෝදර සාමාජික විනිසුරුවන් දෙදෙනා මෙන්ම අධිකරණ කාර්ය මණ්ඩලයද ඒ වෙනුවෙන් දැක්වූ විශේෂ සහයෝගය සහ කැපවීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතිය පුද කිරීමද සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා අමතක නොකළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment