පාස්කු පරමාණු බෝම්බය සහ දාම ක්‍රියාවලිය

706

අවුරුදු දහස් ගණනක් තිස්සේ විදේශික ආක්‍රමණිකයන් විසින් සූරාකෑමෙන් නොනැවතී උලා කෑමෙන්ද පසු මේ රටේ දේශප්‍රේමී සියලු ජනතාවගේ අත පය කඩා පැත්තකට කරන ලදී. අනතුරුව මේ රට ඉතා ශෝකී සහ පසුගාමී ගැමි රාජ්‍යයක් බවට පත්විය. 1948 න් පසු ලැබුණු නිදහස ඔස්සේ වැඩේ තවදුරටත් අල වූ අතර සුදු ආක්‍රමණිකයාගේ තැනට දේශීය ප්‍රභූවරුන් අවතීර්ණ වී රටට කෙළවීම දිගටම පවත්වාගෙන යන ලද්දේය. 18 කැරැල්ලේදී ලැබුණු පළමුවන භීෂණ අත්දැකීමෙන් පසු ඊළඟ භීෂණ අත්දැකීම ශ්‍රී ලංකාවට ලැබෙන්නේ 1971 දීය. ඉන්පසු 80 ජූලි වැඩ වර්ජනය සමාජ භීෂණයක් ලෙස අපගේ හදවත්වල තැන්පත්ව පවතී. 83 ජූලි කලබල වලින් පසු ජනවාර්ගික යුද්ධය ඇරඹිණි. ඊට සමාන්තරව 88, 89, 90 අවුරුදුවල රජය සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අතර කැලෑ යුද්ධයක් හටගත්තේය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වීමෙන් පසු අලුත් ප්‍රගතිශීලී යුගයක් උදාවූ බව හැමදෙනාම කල්පනා කළ අතර ජනවාර්ගික යුද්ධයද දිගටම තිබිණ. යුද්ධය නිමාවූ පසු මේ රටේ ජනයා භීෂණයට ටටා කියා යළි නිදහසේ ජීවත්වීමට පටන් ගත්හ. ඒ අතර 2015 දී ආණ්ඩු මාරුවක්ද සිදුවිය. 2019 දී පාස්කු බෝම්බය පිපිරූ අතර මෑත ඉතිහාසයේ කිසියම් ආගමික කණ්ඩායමක් ඉලක්ක කරගෙන සිදුකෙරුණු විශාලම ප්‍රහාරය එය බවට පත්විය. මේ මගින් මේ රටේ කතෝලිකයන් දෙසීය හැට නවයක් මිය ගිය අතර හදවත් මිලියන ගණනක් ඉරි තැලීමට ලක්විය. පාස්කු බෝම්බය පිපිරීමෙන් පසු කතෝලික ප්‍රජාවේ මෙරට නායකයා වන මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ඊට එරෙහිව විශාල මතවාදී යුද්ධයක් ආරම්භ කළේය. ඒ දක්වා අප විසින් දකිනු ලැබ තිබුණේ තිස් අවුරුදු යුද්ධයේදී මේ රටේ ඇතැම් භික්ෂුන් වහන්සේ විසින් විටින් විට ප්‍රකාශයට පත්කළ මතවාදී යුද්ධය පමණි. පාස්කු ප්‍රහාරයට වගකිවයුතු බවට හඳුනාගනු ලැබූ ඉස්ලාමීය අන්තවාදීන් අත තබා තිබුණේ නරකම තැනකටය. එනම් ආගමකටය. ආගමට, ජාතියට, කුලයට සහ ප්‍රේමයට පහර වැදුණු විට එම පහරින් හිත රිදවා ගන්නා මිනිසා ආපසු හැරී මරාගෙන මැරෙන්නට පටන් ගනී. පාස්කු බෝම්බයේදී ද මෙය මෙසේම සිදුවිය. බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ තව්හිද් ජමාත් සංවිධානය ගැන පාස්කු බෝම්බය පුපුරන තුරුත් කිසිවෙක් දැන සිටියේ නැත. මේ සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාව ජාතිවාදී අරගලයකට නොයාම මහත් වූ වාසනාවකි. මෙය ඉන්දියාව වැනි රටක සිදුවූයේ නම් බෝම්බයෙන් මිය ගිය සංඛ්‍යාව මෙන් හාර පන්සියයක ජනතාවක් ජාතිවාදී අරගල වලින් මිය යනවා ඇත.

අද අප පාස්කු බෝම්බය ගැන ලියන්නේ ඒ පිළිබඳ සිවිල් නඩුවක තීන්දුව නිකුත්වී ඇති හෙයිනි. යළි අභියාචනා කළ නොහැකි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වන මෙම නඩු තීන්දුවෙන් එකල සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන, එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යනාදීහු වරදකරුවන්ව සුවිශාල දඩ මුදලක් ගෙවීමට නියමිව සිටිති. මේ පිරිසට එරෙහි ප්‍රධාන චෝදනාව නම් මොහොමඩ් සහරාන්ගේ බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ තොරතුරු ලැබී එය නොසලකා හැරීමය. තව්හිද් ජමාත් සංවිධානය ශ්‍රී ලංකාව තුළ ලේ ගංගාවක් ගලා යෑමට සැලැස්වීමේ පූර්වාරංචිය ඉන්දියාවේ රෝ සංවිධානය වෙතින් ආණ්ඩුවට ලැබී තිබුණි. ඒ පිළිබඳ අනතුරු හඟවා රටේ ප්‍රධානීන් වෙත පොලිසිය මගින් යවන ලද නිල ලියවිල්ලක්ද තිබේ. ඒ අනුව රජයේ ප්‍රධානීන් ක්‍රියාකළ බවක් පෙනෙන්නට නැත. කොච්චිකඩේ පල්ලිය යනු මේ රටේ කතෝලික ප්‍රජාවගේ උත්තම ශුද්ධස්ථානයකි. එම පල්ලියට පහරදීම මෙන්ම සෙසු පල්ලිවලටද පහරදීමෙන් තව්හිද් ජමාත් සංවිධානය සිදුකළ නීච ක්‍රියාව නොසලකා සිටීමට මැල්කම් රංජිත් කාදිනල්තුමා කිසිවිටකත් උත්සාහ කළේ නැත. පාස්කු බෝම්බ පෙළ පිපිරූ දා සිට අද වනතුරුත් කාදිනල්තුමා සිය සටන අතහැර නැත.

පාස්කු බෝම්බයේ ශේෂ පත්‍රය මෙසේය. ප්‍රධාන කතෝලික පල්ලි තුනක බෝම්බ පිපිරීම් ඇතිවිය. කොළඹ තරු පහේ හෝටල් තුනක ඉතිරි බෝම්බ ටික පිපිරිණි. මිය ගිය පිරිස අතර ප්‍රහාරය සංවිධානය කළ සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාමීය අන්තවාදීහු 15 ක් සිටිති. ඇමරිකාව, චීනය, බි්‍රතාන්‍ය, ඩෙන්මාර්කය, පෘතුගාලය, තුර්කිය, ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව, නෙදර්ලන්තය, ජපානය, ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤ, බංගලාදේශය යන රටවලින් පැමිණි සංචාරකයන් හෝ එසේ නොවන අය බෝම්බ පිපිරීමෙන් අගතියට පත්වූහ. ලෝකප්‍රකට බිලියනපතියකු වූ අන්දර්ස් හොල්ෂ්ගේ කුඩා දරුවන් තිදෙනා පිපිරීමෙන් මිය ගියහ. මේ බෝම්බ පිපිරීම සලකන ලද්දේ මෙරට බුද්ධි සේවාවල තියුණු බිඳ වැටීමක් ලෙසය. කොටි සංවිධානයේ ගුවන් යානා කොළඹට පහරදීම, මහ බැංකු බෝම්බය සහ පිටකොටුවේ ප්‍රධාන බස් නැවතුම්පළේ සිදුවූ කොටි බෝම්බ පිපිරීම්ද මේ ආකාරයේම ඔත්තු සේවා බිඳ වැටීම් ලෙස සලකනු ලැබුවද ඒ පිළිබඳ යම් ප්‍රමාණයක නිදහසට කාරණයක් තිබේ. එනම් ඒ කාලයේදී රට පුරාම යුද්ධය තිබිණ. යුද්ධය නොතිබුණේ ප්‍රභාකරන්ගේ බංකරය පිහිටි කිලිනොච්චිය අවට වර්ග සැතපුම් පහක පමණ ප්‍රමාණය තුළ පමණි. ඒ අනුව මහ බැංකු බෝම්බය පිපිරීම යනු ජනාධිපති මන්දිරය කිට්ටුවටමත් අරලිය ගහ මන්දිරයෙන් කිලෝමීටර එකහමාරකටත් යුද්ධය පැමිණීමකි. එහෙත් පාස්කු බෝම්බය පුපුරන විට ශ්‍රී ලංකාව තුළ යුද්ධය තිබුණේ නැත. රට සාමකාමීව තිබූ අතර රටේ රහස් තොරතුරු අංශ මිනිසුන්ගේ ජීවිත සමග පිස්සු කෙළිමින් සිට ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70% ක් බෞද්ධයෝ වෙති. 12% හින්දු ආගමිකයෝද, 10% ඉස්ලාමීයයෝද සිටිති. මේ රටේ කතෝලික ප්‍රජාව සාපේක්ෂව බලන කල මුළු ජනගහනයෙන් 7% ක් තරම් කුඩාය. ඒ අනුව පෙනී යන්නේ රටේ දෙවන විශාලතම ආගමික කණ්ඩායමට අයත් අන්තවාදීන් පිරිසක් රටේ කුඩාම ආගමික කණ්ඩායමට අයත් සාමාන්‍ය ජනතාවට බෝම්බ ගසා ඇති බවකි.

පසුගියදා තීන්දුව ලැබුණු පාස්කු බෝම්බ නඩුව එම ප්‍රහාරයෙන් සතියකට අඩු කාලයක් තුළ සිංහල නීතිඥයකු විසින් පවරන ලද්දකි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අප දන්නා පරිදි තවත් නඩු විශාල සංඛ්‍යාවක් පවරා ඇති අතර මේ නඩුවේ තීන්දුව එම නඩුවලට පූර්වාදර්ශයක් වනවා ඇත. ඒ අනුව පාස්කු බෝම්බ නඩු පෙළ පරමාණු බලාගාරයක සිදුවන දාම ක්‍රියාවලිය හා සමාන වීමට ඉඩ තිබේ. පරමාණු බලාගාරයක පළමුවන පරමාණුව පුපුරවනු ලබන්නේ ඩයිනමයිට් එකක් පිපිරවීමෙනි. ඒ පිපිරවීමත් සමග දෙවන පරමාණුව පුපුරයි. දෙවන පිපිරීමේ බලය නිසා තෙවන පරමාණුව පුපුරයි. මේ අනුව පරමාණු කෝටි ගණනක් එක වැලට පුපුරමින් ශක්තිය මුදා හරින්නට පටන් ගනී. අප මෙය හඳුන්වන්නේ chain reaction එකක් හෙවත් දාම ක්‍රියාවලියක් ලෙසය. අපට හැඟෙන පරිදි පාස්කු බෝම්බ නඩු පෙළේ පළමුවැන්න පුපුරා ඇත. එතැන් සිට ඉතිරි නඩුවල දාමක්‍රියාවලිය පටන් ගන්නවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment