පාස්කු ප‍්‍රහාරකයෝයි බැඳුම්කර හොරුයි නිදැල්ලේ: ජනපති ගිය වසරේ නිදහස් දිනයට දුන් පොරොන්දු ඉටු කළේ නෑ

120

ජනාධිපතිවරයා පසුගිය වසරේ නිදහස් දිනය දා ලබාදුන් පොරොන්දු ඉටු නොකර මෙම වසරේ නැවතත් තවත් බොරු කීමට විශාල මුදලක් වියදම් කළ යුතු දැයි අසා සිටින බව සමගි ජන බලවේගය මාධ්‍ය ප‍්‍රකාශක කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කීවේය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

අද දිනයේ අපේ රටේ 74 වැනි නිදහස සමරන්න ආණ්ඩුව විශාල උද්යෝගයකින් උනන්දුවකින් කටයුතු කරනවා. ගිය අවුරුද්දේ 73 වැනි නිදහස සමරන වෙලාවේ එය අමතලා ජනාධිපතිතුමා කිව්ව ප‍්‍රකාශ පුවත්පත්වල සඳහන් වුණා. බැ`දුම්කර වංචාකරුවන්ට, පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතියෙන් සමාවක් නැහැ කියලා එහි සඳහන් වෙනවා. එතකොට අපිට අහන්න වෙනවා ගෙවුණු වසරක කාලයේ දී බැඳුම්කර වංචාකරුවන් ඇල්ලූවා ද? පාස්කු ප‍්‍රහාරකයන් ඇල්ලූව ද? කියලා. නැහැ, ඒ වගේම තවත් පත්තරේක තියෙනවා ‘‘පුද්ගලික හෝ ව්‍යාපාර අවශ්‍යතා ඉටුකර ගැනීමේ පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කරන්න යන්නේ නැහැ’’ කියලා. ඒ කියන්නේ ගජ මිතුරන්ට දොළපිදේනි දෙන්නේ නැහැ කියන එකයි.

ගිය අවුරුද්ද ඇතුළත එහෙම වෙලා තියෙනවද, එම නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන ගිය අවුරුද්දේ නිදහස් දවසේ දුන්නු පොරොන්දු එකක්වත් ඉටු කරලා නැහැ. මේ අවුරුද්දක කාලයේ දී පාස්කු ප‍්‍රහාරකයන් අල්ලලා නැහැ, ගජ මිතුරන්ට දොළ පිදේනි දීම නතර කරලා නැහැ, මහ බැංකු හොරු අල්ලලත් නැහැ. ඒ වෙනුවට එක දෙයක් වෙලා තියෙනවා. ඒ දුන්නු පොරොන්දු ඔක්කොම පොත් පිංචක් තිබුණා සෞභාග්‍යය දැක්ම කියලා. ඒකේ පොරොන්දු ඔක්කොම කඩ කරපු එක තමයි ගෙවුණු අවුරුද්ද තුළ කරල තියෙන්නේ.

ඒ විතරක් නෙමෙයි ගෙවුණු අවුරුද්දේ අපේ රට ලෝකයේ හිඟාකන රටක්, බංකොලොත්භාවයට පත්වන රටක් බවට පත් කරපු එක තමයි කරලා තියෙන්නේ. ගිය අවුරුද්ද ඇතුළත ගොවියට පොහොර ටික නැති කළා. ධීවරයාට භූමිතෙල් නැති කළා, ජනතාව බඩගින්නේ තියපු එක විතරක් නෙමෙයි ජනතාව අඳුරේ තියෙන්නත් ආරම්භ කරලා.

නිදහස් උත්සවය සමරන්න කොළඹ නගරයේ පාරවල් වහගෙන සතියක් තිස්සේ වීර සෙබළුන්ව අව්වේ පෙළපාලි යවමින් පුරුදු පුහුණු කරනවා. මේ වගේ දුප්පත්, ණය බරින් මිරිකිච්ච, ජනතාව බඩගින්නේ තියපු, ජනතාව අඳුරේ ඉන්න රටක ගොවියන්ට පොහොර නැති, දරුවන්ට කිරි පිටි නැති, පෙදරේරුවන්ට සිමෙන්ති නැති රටක, ධීවරයන්ට තෙල් නැති රටක මිනිසුන් නොමරා මරණ රටක මෙවැනි කෝටි ප‍්‍රකෝටි ගණන් වියදම් කරලා මේ වගේ උත්තමාචාර ගන්න හදන්නේ පවුලේ අයට.

ඉස්සරහා පේළියේ ඉන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ, ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ එක පවුලක මහන්තත්ත කමට තමයි. බංකොළොත් රටක මෙච්චර ලොකු එකක් කරන්න ඕනද කියන එක පැහැදිලිව අහනවා.

කරනවා කියපු එක වැඩක්වත් නොකෙරුවාට ඇමැතිවරුන්ගේ ළමයි පිස්සු කෙළිනවා. සමහර ඇමැතිවරු උසාවියෙන් හොයන අය ලංකාවට ගේනවා. සියලූම දූෂිත ගනුදෙනු ටික සිදුවෙමින් පවතිනවා. අපේ රට එක එක රටවල්වල කෙළිබිමක්, දඩ බිමක් බවට පත් කරලා.

දැන් ආණ්ඩුව ඇතුළේ ඉරිතැලීම් ගොඩායි. ඊයේ වෙනකොට මහ බැංකු අධිපති නන්නත්තාර වෙච්ච ආර්ථිකය ගැන එකක් කියනවා. මුදල් ඇමැති තව එකක් කියනවා. ලෝකෙ කිසිදු මුදල් ඇමැති කෙනෙක් නොකියන කතා තමයි අපේ මොළ හතේ මුදල් ඇමැති කියන්නේ.

පෙරේදා ඇවිත් කිව්වා ‘බ්ලැක් මාර්කට්’ එකට ගිහිල්ලා සල්ලි මාරු කරලා ආයුධ උතුරු කොරියාවෙන් ගෙන්වනවා කියලා. ඊයේ ඇවිත් කියනවා ජාත්‍යන්තරය මූල්‍ය අරමුදලෙන් උපදෙස් ගන්න විශේෂඥ සහාය ඉල්ලලා තියෙනවා කියලා. අනිත් පැත්තෙන් මහබැංකු අධිපති කබ්රාල්තුමා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි යන්නේ නෑ කියලා. පරස්පර කතා.

ඊයේ සමහර මාධ්‍ය ලොකුවට පෙන්නන්න හදනවා ඉන්දියාවේ බැංකුවකින් ඩොලර් මිලියන 500 ක් ඛනිජ තෙල් නිෂ්පාදන ගන්න ණයක් ලබාගෙන

තියෙන එක ගැන. පෙරේදා පාකිස්තානයෙන් ඖෂධ සහ තවත් ආහාර ද්‍රව්‍යවලට මිලියන දෙසීයක ණයක් ලබා ගෙන. මොනවද මේ. මහා ලොකු ජයග‍්‍රහණ නෙමෙයි දුප්පත්කමේ හිඟාකෑමක ලක්ෂණ. මේක එදාවේල මැච් එකක්. ඩොලර් මිලියන 500කින් මාස එකහමාරකට විතරයි ඛනිජ තෙල් නිෂ්පාදන ගන්න පුළුවන්. ඩොලර් මිලියන 200කින් මාසෙකට පමණයි ඖෂධ නිෂ්පාදන ගන්න පුළුවන්. එතකොට එතනින් පස්සේ ඖෂධ නිෂ්පාදනය කරන්න, ඛනිජ තෙල් නිෂ්පාදන ගන්න කොහෙන් ද සල්ලි. මේ විදියට රවට්ටන්න බැහැ. අද කරන්ට් කපන් නෑ. හෙට කරනට් කපන් නෑ කියල නේ උත්තර දෙන්නේ. එහෙම නැතුව අපි ලබන අවුරුද්ද වෙනකම් ලයිට් කපන් නෑ කියලා කියන්න මේ ආණ්ඩුවට බැහැ. මම අභියෝග කරනවා පුළුවන්නම් කියන්න කියලා.

සාගතයයි, කළුවරයි, බඩගින්නයි, පීඩනයයි ඔක්කොම මාර්තු මාසෙ වෙනකොට එනවා. ගිය අවුරුද්දේ කොවිඞ් නිසා සිංහල අවුරුද්ද කන්න වුණේ නැහැ. මේ අවුරුද්ද ලොක්ඩවුන් නෑ. හැබැයි සිංහල අවුරුද්ද කන්න බැහැ. මොකද මිනිස්සුන්ට සල්ලි නැහැ. බඩු මිල අහස උසට ගිහිල්ලා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, සිමෙන්ති පෝලිම්, එළවළු නිෂ්පාදන අඩු වෙලා. හාල් නිෂ්පාදනය අඩු වෙලා.

දැන් යන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කාලයේ 1976 වගේ පීරියඞ් එක. ඒ නිසා අද මේ ආණ්ඩුව ඇතුළේ රාජපක්ෂවරු පමණක් තනිවෙන තැනකට ළං වෙලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාංශිකයෝ වෙනම පැත්තකට යමින් පවතිනවා. ආණ්ඩුවේ අනෙකුත් මන්ත‍්‍රීවරුන් තවත් කණ්ඩායමක් බවට පත්වෙලා. අවසානයේ දී මැතිවරණය වෙනවිට රාජපක්ෂලා ඇතුළු කටුකන කිහිප දෙනෙක් විතරක් ඉතුරු වෙනවා. අපි පැහැදිලිව කියන්න කැමතියි 1976 වෙච්ච දේ තමයි වෙන්නේ කියලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment