පාස්කු ප්‍රහාරයට මාස දෙකකට පෙර එම ප්‍රහාරයේ මහ මොළකරු මොහොඞ් සහරාන් ඇතුළු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව තිබියදීත් එය පැහැර හැරීම, රාජකාරිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට එරෙහිව එම දෙපාර්තමේන්තුව මගින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කුලියාපිටිය අධිකරණය වෙත ඊයේ (10 දා) බී වාර්තාවක් මගින් මේ බව දැනුම්දීමක් කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මොහොමඞ් සහරාන් විසින් වනාතවිල්ලූවේ පවත්වාගෙන ගිය පුපුරන ද්‍රව්‍ය ගබඩාව වැටලීමෙන් පසු විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහරාන්ගේ බිරිඳ වන ෆාතිමා සාදියා පදිංචි කුලියාපිටියේ නිවස සොයාගෙන තිබිණි. 2019 පෙබරවාරි 19 වැනිදා මෙම නිවස වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහරාන්ගේ බිරිඳ සහ පාස්කු ප්‍රහාරයේ තවත් ප්‍රධාන සැකකාරියක වන සහරා ජෙස්මින් (මේ වන තුරුත් ඇය අතුරුදන්ව සිටී) සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන ඇත. එහිදී අනාවරණය වී තිබුණේ සහරාන් තවත් සුළු මොහොතකින් එම නිවසට පැමිණ බිරිඳ සහ දරු දෙදෙනා රැුගෙන යෑමට නියමිතව සිටින බවයි.
එහෙත් එම නිවසේ රැුඳී සිටි සහරාන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමට උපදෙස් ලැබී නොතිබූ බව මේ වන විට අනාවරණය වී තිබේ.
මෙම සිද්ධියෙන් හරියටම මාස දෙකකට පසු එනම් 2019 අපේ‍්‍රල් 21 වැනිදා සහරාන් ඇතුළු කණ්ඩායම් විසින් පාස්කු ප්‍රහාරය එල්ල කර තිබිණි. එම ප්‍රහාරයෙන් අහිංසක නිරායුධ ජීවිත තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ අතර පන්සියයක් පමණ පිරිසක් සදාකාලික අබ්බගාතයන් බවට පත්වූහ. මෙම ප්‍රහාරය එල්ල කිරීමට මාස දෙකකට පෙර සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ නම් පාස්කු ප්‍රහාරය නතර කිරීමට හැකියාව තිබූ බව ද විමර්ශන නිලධාරීහු කියා සිටිති.
දැනට බන්ධනාගාරගත කර සිටින සහරාන්ගේ බිරිඳ වන හාදියාගෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා කුලියාපිටිය අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.
හේමන්ත රන්දුනු