පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා සිටින්නේ කාගේ දේශපාලන සාක්කුවේද?

407

මේ සතිය ආරම්භ වූයේ ද අතිශය ආන්දෝලනාත්මක සිදුවීම් දෙකක් සමාජ දේශපාලන මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ද ප්‍රමුඛ මාතෘකා බවට පත් කරමින්ය. ඉන් එකක් මේ වන විට පස්වසරක් සම්පූර්ණ වී තිබෙන, ජාත්‍යන්තරය වෙත ද ඇදී ගොස් තිබෙන මහා ඛේදවාචකයක් වන පාස්කු ප්‍රහාරයයි. අනෙක ශ්‍රීල.නි.ප.ය දෙපළු කරමින් සිය දේශපාලන මුග්ධ ස්වභාවය අඩු වැඩි වසයෙන් රටට ප්‍රදර්ශනය කරන පාර්ශ්ව දෙකක විකෘති නාඩගමකි. මේ සිදුවීම් දෙක තුළින්ම ප්‍රකාශයට පත්වන්නේ මෙරටේ දේශපාලනයේ වගකීම් විරහිත බව හා බලකාමී අවස්ථාවාදී බලු පොරයක විලාසයයි. පැනසර නොවන දේශපාලන චරිතවල ගොරතර මුග්ධ විලාසයයි. පැනසර නොවන නිරිඳුන් ලබන රජ සැපත ගොරතර විපත් රටට සදන බව සුභාෂිතයෙහි ද දැක්වේ.

2024 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයට මෙම 21 වැනිදාට වසර පහක් සම්පූර්ණ විය. ඒ වෙනුවෙන් කිතුනු ප්‍රජාව හා ආගමික නායකයන් විසින් දක්වන ලද අවධානය ඉමහත් විය. කතෝලික දේවස්ථාන දෙකක්, නැඟෙනහිර පළාතේ සියොන් පල්ලිය හා කොළඹ සුපිරි හෝටල් තුනක් හා තවත් ස්ථාන කීපයකටම මරු විපත් සදමින් එල්ල වූ එම ම්ලේච්ඡ ප්‍රහාරය මුස්ලිම් අන්තවාදී ප්‍රතිචාරයක් බව පිළිගනු ලබයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා සිටින්නේ කාගේ දේශපාලන සාක්කුවේද?

මේ වනවිට ප්‍රහාරයෙන් විනාශ වූ දේවස්ථාන ඇතුළු බොහෝ ස්ථාන යළි යථා තත්ත්වයට පත් කර ඇත. එසේම වින්දිතයන් වෙනුවෙන් ඉතා අවම වන්දි ලබා දීම් ද වාර්තා වේ. එහෙත් මේ ම්ලේච්ඡ අපරාධයේ මහ මොළකරු, එහි සාහසික සැලසුම ආදිය හෙළිකර ගැනීමට පාලකයෝ අසමත්ව සිටිති. එසේම මේ මහා ඛේදවාචකයෙන් විපතට පත්ව සදාකාලික අඳුරක හිරවී සිටින ජන ජීවිත වෙනුවෙන් සාධාරණය හා යුක්තිය ඉටු නොවීම බරපතළ ප්‍රශ්නයකි. මේ සාහසික ඝාතකයන් නීතියේ ඉදිරියට ගෙන ඒමට අපේ පාලකයන් අසමත් වූ බව රහසක් නොවේ. මැල්කම් කාදිනල් රංජිත් අගරදතුමා මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමටත්, ඒ සම්බන්ධ අබිරහස හෙළිකර ගැනීමටත් දක්වන අධිෂ්ඨානශීලී ප්‍රයත්නය ඉතා පැහැදිලිය. ආණ්ඩුවේ නායකයන් කුමක් කීවත් මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සිට මේ දක්වා රටේ පාලනයට හා ආරක්‍ෂාවට වගකිව යුතු කිසිදු නායකයකුට හෝ ඔවුන්ගේ ඇමැතිවරුන් ප්‍රමුඛ ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ට ද ඒ වගකීමෙන් නිදහස් විය නොහැකිය.

මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම බරපතළ තත්ත්වයකි. මේ වන විට සිදුවී තිබෙන විමර්ශන, පාර්ලිමේන්තු කමිටු ආදියේ වාර්තාවලින් හෙළි වන මුඛ්‍ය කරුණ වන්නේ ද ඒ සම්බන්ධ අදාළ සියල්ලන්ගේම වගකීම් විරහිත ක්‍රියාකලාපයයි. ඒ සම්බන්ධයෙන් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එවක සිටි ජනාධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් (ආරක්‍ෂක අංශවලට අයත්) කීප දෙනකුට ද වන්දි ගෙවීමට නියෝග කර තිබුණි. ඒ වන්දි මුදල් මෙතෙක් සම්පූර්ණයෙන් ගෙවා නැති බව ද කියනු ඇසෙයි. ඒ නඩු නිමිත්තේදී එවක අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහගේ නම ද සඳහන් වුවත් මෙ වන විට ඔහුට හිමිව තිබෙන ජනාධිපති මුක්තිය නිසා ඔහුගේ නම ඉන් ඉවත් කෙරුණි.

මැල්කම් කාදිනල් රංජිත් අගරද තුමා යළිත් සිය අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති ගෝඨාභයට මෙන්ම මේ ආණ්ඩුවට ද දැඩි අප්‍රසාදය පළ කළේය. කාදිනල්තුමා පවසන ආකාරයට බලයට පත් ගෝඨාභය ජනාධිපති දුරකථනයෙන් ප්‍රකාශ කර ඇත්තේ විමර්ශන හා කමිටු වාර්තාවල නම් සඳහන් පුද්ගලයන් හා ආයතන සංවිධාන අමනාප කර ගැනීමට සිදුවිය හැකි නිසා අදාළ නීතිමය පියවර නොගත්තෙහි නම් එය බරපතළ කරුණකි. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට කරන ලද නියෝග ක්‍රියාත්මක නොකළ බවද කාදිනල් තුමන්ගේ චෝදනාවකි. හිටපු නීතිපතිවරයකු වන දප්පුල ලිවේරා ද මේ ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණයක් ඇතැයි ප්‍රකාශ කර ඇත.

කෙසේ වුවද පාස්කු ප්‍රහාරය මේ වනවිට දේශපාලන සංදර්ශනයක් බවට පත්ව තිබෙන බව ඒ සම්බන්ධයෙන් කෙරෙන විවේචන හා දැක්වෙන ප්‍රතිචාර දෙස බලද්දී පෙනී යයි. මෙබඳු අන්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බව 2016දීත් ප්‍රකාශ වූ බව අපට මතකය. ඒ වත්මන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂය. 2019 දී එම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවීමට ප්‍රබල හේතුවක් ලෙස පාලකයන්ගේ නොසැලකිල්ල මුල් වූ බව දැන් තහවුරු වී තිබෙන එක් කරුණකි. එහෙත් ගෝඨාභය අතට පත්වූ සාක්ෂිකරුවන් 457කගෙන් 1583කට නොඅඩු ප්‍රකාශ ඇතුළත් පිටු 37314ක වාර්තාවට අමතරව ඒ සම්බන්ධයෙන් එළි දුටු ලිපි ලේඛන, සංවාද මණ්ඩප කොතරම් ද? ජනාධිපති කමිටු, පාර්ලිමේන්තු කමිටු හා වෙනත් විමර්ශන ද ගණනාවක් සිදුවී තිබේ. කුමක් වුවත් ආගමික උමතුවක් ලෙස පෙනී යන මෙම ම්ලේච්ඡ ප්‍රහාරය ඉහත සඳහන් කළ පරිදිම දේශපාලන සංදර්ශනයක් ලෙස තවමත් ඇදී යමින් තිබේ. මැල්කම් කාදිනල් රංජිත් අගරදතුමන් පවසන්නේ මේ ආණ්ඩුවලට ඒ පාස්කු අපරාධය අනාවරණය කර ගැනීමේ අවංක වුවමනාවක් නැති නිසා එය ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත රැගෙන යා යුතු බවය. පාප්තුමාගේ අවධානයට ද යොමු කළ ඒ ප්‍රහාරයට ජාත්‍යන්තර ප්‍රතිචාරය කුමක්දැයි අපි නොදනිමු. කුමක් වුවත් මෙරටේ සිදුවූ බවට චෝදනා කෙරෙන යුද අපරාධ, පැහැර ගැනීම්, ඝාතන ආදියට සාධාරණය හා යුක්තිය ඉටු කිරීම වෙනුවට ඒවා විවිධ පටු දේශපාලන අරමුණු උදෙසා භාවිත වන ආකාරය ද පැහැදිලිව දැකගත හැකිය.

මේ සියල්ලටම වඩා විස්මය දනවන කරුණක් වී තිබෙන්නේ, මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යළිත් දින තුනක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට නියමව තිබීමය. පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත් වීමට අපට අයිතියක් නැත. එහෙත් ජනමාධ්‍ය වාර්තා අනුව නම් මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය කාලය ඇතුළත විවාද එකොළහක් (11) පවත්වා ඇත. ඒ සඳහා කෝටි දහතුනක මුදලක් ද වැය කර ඇත. එසේම එකම කරුණක් මුල් කර ගනිමින් වැඩිම විවාද සංඛ්‍යාවක් පවත්වා ඇත්තේ ද මෙම පාස්කු ප්‍රහාරය නිමිති කරගෙන බවද සඳහන් වේ. එපමණක් නොව පසුගිය කාලයේ මේ පිළිබඳව ප්‍රශ්න සියයකට වැඩි සංඛ්‍යාවක් මතු කර ඇතැයි ද කියති. කුමක් වුවත් මෙම 24, 25 හා 26 යන දින තුනක් මෙම විවාදයට වෙන් කර ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ විවාදය දේශපාලන බැන අඬගසා ගැනීම්, මඩ ගසා ගැනීම්වලින් තොරව ප්‍රබුද්ධ සංවාදයක් විය හැකිද යන සැකය අපට ද තිබේ. එපමණක් නොව එබඳු විවාදයකින් එම ප්‍රහාරයේ වින්දිතයන්ට අත්විය හැකි සුගතිය හෝ යහපත කුමක් ද යන ප්‍රශ්නය ද අප තුළ නැඟෙයි.

කුමක් වුවත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා සිටින්නේ කාගේ දේශපාලන සාක්කුවකදැයි රටට හෙළි විය යුතුය.

පස්වසරක් මුළුල්ලේම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි කැපවීමක් හා අවධානයක් යොමු කළ මැල්කම් කාදිනල් රංජිත් අගරදතුමන් ඉඳුරා පවසා සිටියේ, මේ පාලකයන්ටත් ඊට පෙර මේ විපත රටට අත්වන තෙක් නිදා සිටි සියල්ලන්ටත් කිසිසේත් කිතුනු ප්‍රජාවගේ ප්‍රසාදය හිමි නොවන බවය. එහි සරල අරුත වන්නේ, ඒ කිසිදු පක්‍ෂයකට කිතුනුවන්ගේ ඡන්ද නොලැබෙන බවය. මැතිවරණ දෙකක් අබියස එබඳු අප්‍රසාදයක් හිමිවන පක්‍ෂයට පමණක් නොව අපේක්‍ෂකයන්ට ද අත්විය හැකි ඉරණම යහපත් නොවේ.

ජා.ජ.බ. හා ස.ජ.බ. මේ සම්බන්ධයෙන් කාදිනල් තුමන්ට ලිඛිත ප්‍රතිඥාවන් ලබා දී තිබේ. ඒ පිළිබඳව ඒ හිමියන් තුළ අපේක්‍ෂාවක් ද ඇත. එසේ වුවද මෙම ප්‍රහාරයේ සමස්ත වගකීම ජා.ජ.බ.යට හෙවත් මාලිමාවට පැවරීමට දරනු ලබන ප්‍රයත්නයක් ද පෙනී යයි. එයට හේතුව මෙම ප්‍රහාරයට වගකිව යුතු සාහසික පුතුන්ගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහිම් ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවට ඇතුළත් නමක් වීමයි. 2015දී එබඳු නම් කිරීමක් සිදු වුවද ඔහුට ඒ අවස්ථාව හිමි වූයේ ද නැත. මේ පැරණි දේශපාලන සබඳතාව එසේම තිබේද? නැද්ද? යන්න අපි නොදනිමු. එහෙත් ඔහු හා පුතුන්ගේ සබඳතාව නිසා සාධාරණ සැකයක් ද මතු විය හැකිය. මෙයට මාලිමාව ප්‍රතිචාර දක්වා ඇත. ඔවුන් පවසන්නේ ආණ්ඩුවට ඒ පිළිබඳව විමර්ශනයක් කළ හැකි බවය. එය සැබෑවකි. බොහෝ විට ජාතික ලැයිස්තුවලට ඇතුළත් වන්නේ පාක්‍ෂිකයන්ගේ නම් නොවන බවද අපි දනිමු. එසේම මේ ඊබ්‍රාහිම්ගේ සබඳතා හා ළෙන්ගතුකම් වෙනත් දේශපාලන නායකයන් සමග ද වූ බව කියති. ඊබ්‍රාහිම් ව්‍යාපාර ක්‍ෂේත්‍රයට අයත් අයෙකි. එසේම බොහෝ දෙනකුගේ දේශපාලන විවේචන පිළිබඳව විමසා බලද්දී මේ බොහෝ පක්‍ෂවල ස්වරූපයත්, බොල් බවත් විනා අර්ථවත් විග්‍රහ අඩු බවද කිව යුතුය. මාලිමාවට මිනීමරු ලේබලය ඇලවීම අපට ප්‍රශ්නයක් නොවේ. එහෙත් දේශපාලන ඝාතන සම්බන්ධයෙන් තම ඉතිහාසය තුළ ද අඳුරු පැල්ලම් තිබෙන බව ඒ බොහෝ දෙනෙක් නොදනිති. නැතහොත් අමතක කර සිටිති. එනිසා එබඳු දේශපාලන විකටයන් ගැන කතා කළ යුතු නැත.

කෙසේ හෝ දේශපාලනඥයන්ගේ අභිමතය පරිදි ඔවුන්ගේ බැඳීම් හා මිත්‍ර සබඳතාවන් නිසා හෝ පාස්කු අපරාධය යටපත් කිරීමට ඉඩ දිය යුතු නැත. අපරාධයකට දඬුවම නියත බව බයිබලයේ මෙසේ දැක්වේ.

“දෙවිඳාණෝ විනිසකරුවෙකි. ජනතාව පවිටන් ලෙස වැරදි මඟෙහි යත් නම් එතුමෝ සිය අසිපත තියුණු කරන්නෝ ය. දුනු දිය තැත් කවන්නාහ.

පවක්, අකුසලයක් කර කිසිදිනක සැඟවී සිටිය නොහැකි බව බුදුහු ද වදාළහ. ධම්ම පදයෙහි දැක්වෙන්නේ සාගර මැද හෝ අනන්තයෙහි හෝ වෙනත් කවර තැනක හෝ ගල් කුහරයකට රිංගා ගෙන හෝ ඒ අපරාධයෙන් ගැලවීමට නොහැකි බවය.

න අන්තලිකෙඛ න සමුද්ද මජෙඣ
න පබ්බතානං විවරං පවිස්ස
න වජ්ජති සො ජගතිප්ප දේසො
යත්‍ථට්ඨිතං නප්පසේසා මච්චුං

කිතු දහම මෙන්ම බුදු දහම ද පිළිගන්නා ඒ සත්‍යය ප්‍රතික්ෂේප කළ නොහැක. මිනිස් වෙස්ගත් ම්ලේච්ඡයන් විසින් ඒ මිනිස් වර්ගයාට කරනු ලබන දුෂ්ට ක්‍රියාකාරකම් ඒ අපරාධකරුවන් පසුපස ලුහුබැඳ විපාක දෙන බව නිසැකය. එහෙත් ඒ මෘගයන්ට මේ මිහිමත නිදහස් ජීවිත ගෙවීමට ඉඩ දිය යුතු නැත. ඒ මහා ඛේදවාචකය සිදු කළ පිශාචයන් නීතියේ රැහැනට ගෙනඒමට අසමත් වන පාලනයක් රටකට අවශ්‍ය ද නැත.

දැන් අපි ජනප්‍රිය දෙවන සතිය ද පසු කරමින් ජනතාවට මෙරටේ දේශපාලන සංස්කෘතියේ අධම විලාසය පමණක් නොව මුග්ධත්වය, අමනකම, පරිහානිය ඇතුළු ත්‍රාසය, භීතිය, භීභත්සය හෙවත් පිළිකුල ද දනවන ශ්‍රීල.නි.ප. නිල බලු පොර විගඩම වෙත අවධානය යොමු කරමු. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මෙන්ම පක්‍ෂ ක්‍රම ගැන ද දැන් සෑහෙන කලක සිට විවිධ විවේචන ඇසෙයි. බලය මෙන්ම ධනය ද ලබා ගැනීමේ ප්‍රකට මාර්ගය බවට දේශපාලනය පිරිහීමත් සමග රටේ සිදුවන විකාර රූපී රංගනවල ද අඩුවක් නැත. අද ශ්‍රීල.නි.ප.ය තවත් දේශපාලන කැඳ හැළියක් බවට පත්කර ගත් අය රටට විහිළු සපයන අතරම තම හිස් බවද විදහා පාති. මෛත්‍රිපාලගේ සභාපතිකමට වාරණ නියෝගයක් ලබා ගත් චන්ද්‍රිකාගේ පාර්ශ්වය එහි තාවකාලික සභාපති ලෙස නිමල් සිරිපාල පත් කර ගත්තේය. එයට ප්‍රතිචාර දක්වමින් මෛත්‍රී පාර්ශ්වය එහි වැඩ බලන සභාපති ලෙස විජයදාස රාජපක්‍ෂ තෝරා ගෙන ඇත. ඒ අනුව ශ්‍රීල.නි.ප.යේ පාර්ශ්ව දෙකම නියෝජනය කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනෙකි. දෙපාර්ශ්වයටම විශ්‍රාමික ජනපති බැගින් ද සිටිති. සිරිපාල පාර්ශ්වයට වැඩිපුර කැබිනට් ඇමැතිවරයෙක් හා රාජ්‍ය ඇමැතිවරයෙක් ද සිටිති. රනිල් ජනාධිපතිවරයාගේ ආර්ථික දේශපාලනයට එකඟව කැබිනට්ටුවේ සිටින දෙගොල්ලන්ම ශ්‍රීල.නි.ප.යේ දේශපාලනය බලගන්වන බවට මොර දෙති. සිරිපාල, අමරවීර, අලගියවන්න නිල් පාට ඇඳගෙන ජනාධිපති රනිල් යළිත් ජනාධිපතිවරණයෙන් තෝරාගත යුතු බවද පවසති. මෛත්‍රීගේ පිල රනිල් විරෝධී වන්නා සේම ඔවුන්ට තම පක්‍ෂයෙන් වෙනම ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් පත් කිරීමට ද අවශ්‍ය වී තිබේ. ඒ සඳහා ඔවුන්ගේ වැඩ බලන සභාපති විජයදාස රාජපක්‍ෂ තෝරා ගැනීමට ද ඉඩ තිබේ. විධායක සභාවේ 116 දෙනකුගේ එකඟතාවෙන් වැ.බ. සභාපති ලෙස පත්වූ විජයදාස සම්බන්ධයෙන් චන්ද්‍රිකා පිල විවේචන පමණක් නොව සැක සංකාද මතු කර තිබේ. ආණ්ඩුව සමග එකඟතාවක සිටින දුමින්ද දිසානායක පවසන්නේ, විජයදාස එම ධුරයට පත් කිරීමේ අරමුණ මෛත්‍රීට එරෙහිව තිබෙන නඩුවලින් බේරීමට බවය. එහෙත් අධිකරණ ඇමැතිවරයකුට නඩු තීන්දු ලබා දිය හැකිදැයි අපි නොදනිමු.

ශ්‍රීල.නි.ප.යේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින චන්ද්‍රිකා ඇතුළු ඒ පාර්ශ්වයට හදිසියේ තම පක්‍ෂය අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන මහ මැතිවරණය මතක් වීම නිසා බව පැහැදිලිය. නිමල් සිරිපාලට, අමරවීරට මෙන්ම දුමින්ද ඇතුළු බොහෝ දෙනකුට යළි පාර්ලිමේන්තුවට යෑමට පක්‍ෂයක් වුවමනාය. එ.ජා.ප.යට ජන බලයක් නැත. පොහොට්ටුවට යෑමට විලිබියක් නැති වුවත් එයට ද ජන ප්‍රසාදයක් නැති බව මේ අය දනිති. මේ දෙකටම වඩා විශේෂත්වයක් ශ්‍රීල.නි.ප.යට නැත. එහෙත් එමගින් නාමයෝජනාවක් කරගෙන ජාම බේරා ගැනීමට ඔවුහු අදහස් කරතියි අපගේ අනුමානයයි. මෛත්‍රී පිලට අයත් කණ්ඩායමට ද ඒ ප්‍රශ්නයම තිබේ. මේ වන විට පක්‍ෂයක් වශයෙන් ශ්‍රීල.නි.ප.ය බින්දුවට බැස තිබුණත් ඒ පක්‍ෂ නාමය හා ඉතිහාසය ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියකට අවශ්‍ය වනු ඇත. නුදුරු අනාගතයේ බිහිවන සන්ධානයකට හේත්තු වී ඡන්ද සූදුව දිනා ගැනීම හැර මේ කිසිවකුට වෙනත් විකල්පයක් ද නැත. ස.ජ.බ. හෝ ජා.ජ.බ. සඳහා ඔවුන්ට දොරක් විවර වන්නේ ද නැත.

මේ වන විට දේශපාලන වැඩබිම තුළ එ.ජා.ප.යට, ශ්‍රීල.නි.ප.යට, හොහොට්ටුවට මෙන්ම විසිරී ගොස් සිටින බොහෝ දෙනකුට ද හිතකර ජනතා ප්‍රතිචාරයක් ඇතැයි සිතිය නොහැක. එහෙත් එ.ජා.ප. අනුගාමිකයන්ට රනිල්ගෙන් තොර දේශපාලනයක් නැත. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රනිල් ප්‍රමුඛ රාජපක්‍ෂ කඳවුරටම ස්ථාවර අදහසක් නැත. ජනාධිපතිවරණ ඡන්ද කාඩ් පත්‍රයේ පොහොට්ටුව ලකුණ තිබෙන බව විනා ඒ ලකුණ අයත් අපේක්‍ෂකයා ගැන කීමට පොහොට්ටුවේ නාමල්ට ද නොහැකිය. මේ අතර දින කීපයකින් එළැඹෙන මැයි දිනය තම පිරිස් බලය හුවා දැක්වීමට යොදා ගැනීමට ද බොහෝ නායකයෝ කල්පනා කරති. එහෙත් එබඳු රැවටිලි හෝ විජ්ජාවලින් ජනතාව මුළා කළ නොහැකිය. ඒ කුමක් වුවත් ස.ජ.බ. හා ජා.ජ.බ. අතර පැවතෙනු ඇතැයි අපේක්‍ෂා කළ ආර්ථිකය පිළිබඳ විවාදය ගැන ද දැන් වැඩි කතාබහක් නැත.

කෙසේ වුවද එබඳු දේශපාලන විවාද පැවැත්වීම අපේ නායකයන්ට ද හුරු නැත. වෙන වෙන අනම් මනම් දෙඩවීමේ යල් පිනූ ක්‍රමය හැර එබඳු සාධනීය සංවාද මෙරටේ සිදුවී නැත. ඇත්තටම මේ වෙලාවේ ඒ පක්‍ෂ නායකයන් වඩාත් උනන්දු විය යුත්තේ තව හය මාසයක් වැනි කෙටි කාලයක් ඉතිරි වී තිබෙන මේ ආණ්ඩුව ලහි ලහියේ ක්‍රියාවට නැංවීමට යන සමාජ ආර්ථික කරුණු කෙරෙහිය. රටේ ආර්ථිකයේ අනාගතය ගොඩනැඟෙන්නේ මේ ආණ්ඩුව ගෙනයන ආර්ථික ප්‍රතිපත්ති මත බව පමණක් අපට කිව හැක. වේදිකාවල ප්‍රලාප දෙඩවීමෙන් හෝ තාවකාලික ප්‍රදානයන් කරමින් පිරිසක් දිනා ගැනීමෙන් හෝ රටක් ඉදිරියට යන්නේ ද නැත. මේ වන විට දේශපාලන බලය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් වූ නොමිලේ හාල්, හඳෙන් හෝ හාල්, ධාන්‍ය රාත්තල් අට, තුනයි පනහට පාන්, ජනසවිය, සමෘද්ධිය මෙන්ම දැන් තිබෙන අස්වැසුම ආදී කිසිවක් මෙරටේ සමාජ ආර්ථික වෙනසකට හේතු නොවූ බව ජනතාවගෙන් බහුතර සංඛ්‍යාවක් දනිති. බොහෝ දෙනකුගේ මුව ලෙළ දෙන්නේ “රැවටුණා ඇති… වරෙල්ලකො ආයෙත් ඡන්දෙ ඉල්ලගෙන වැනි” වාගාලාප බවද පෙනේ. ජනාධිපති රනිල් තවමත් කල් බලමින් සිටියි. ඔහු ජනාධිපතිවරණයට තරග කිරීම පිළිබඳ එළැඹෙන මැයි දිනයේදී ප්‍රකාශ කරන බවක් ද මාධ්‍යවල පළවිය. කුමක් වුවත් ශ්‍රීල.නි.ප.ය අච්චාරුවක් බවට පත් කළ චන්ද්‍රිකා, මෛත්‍රී සටනට හෝ පොහොට්ටුවේ ජාතික සංවිධායක ලෙස බලගන්වා කරළියට නැංවූ නාමල්ට හෝ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තවමත් දෙලොවක් අතර සිටින ආණ්ඩුවට හෝ මුහුණ දීමට තිබෙන දේශපාලන අභියෝගය සුළුපටු නොවේ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment