පාස්කු ප්‍රහාරයේ සත්‍ය සෙවීමට කොමිසමක් නැත්තේ ඇයි?

212

දශක තුනක යුද්ධයේදී පවා නොදුටු ආකාරයේ මුළු රටම කම්පනයට හා භීතියකට ඇද දැමූ 2019 දෛවෝපගත පාස්කුවෙන් පසු පාස්කු තුනක් ගතව තිබේ. පල්ලි තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට මරාගෙන මැරෙන බෝම්බකරුවන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් එකවර එල්ල කරන ලද ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 272 දෙනකුගේ ජීවිත අහිමි වූ අතර, තවත් 500 ක් හෝ ඊට වැඩි පිරිසක් තුවාල ලැබීය. මෙම ප්‍රහාරවලට ලක්වූවන් අතරට සමස්ත පවුලම, දරුවන් මෙන්ම මාපියන් සහ ශ්‍රී ලංකාවේ උණුසුම විඳීමට පැමිණි විදේශිකයන් ද ඇතුළත් විය. ප්‍රහාරය හේතුවෙන් රට මාස දෙකක් වසා දැමිණි. එම කාලය තුළ ජනතාව කටකතා මත ජීවත් වූ අතර, ජනාකීර්ණ ප්‍රදේශවලට යෑමට බිය වූහ. එක් සුළු ජාතික ආගමික කණ්ඩායමක් තවත් සුළු ජාතික ආගමික කණ්ඩායමක් ඉලක්ක කරගෙන එල්ල කළ මෙම ප්‍රහාරයේ කිසිදු තර්කානුකූලභාවයක් නොතිබූ අතර, ඔවුන් අතර ගැටුම් සඳහා ඉතිහාසයක් නොපැවතිණි. මෙම පාස්කු බෝම්බ ප්‍රහාරය හේතුවෙන්, දශකයකට පෙර යුද්ධය අවසන් වූ දා සිට සිදු කර තිබූ ප්‍රතිසන්ධාන කටයුතු සියල්ලද අහෝසි වී ගියේය.

බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇති වූ අවුල් සහගත තත්ත්වයන් සහ අනුමාන කිරීම් මාධ්‍යයේ, රටේ සෙසු ප්‍රදේශවල ඇති වූ බිය, ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් අතර නොපැවති බව දැකගත හැකි විය. එදා විපක්ෂයේ සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන සිදුවූ ස්ථානයට පැමිණි පළමුවැන්නා විය. එවකට ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වහාම විපක්ෂයෙන් තරග කිරීමට සුදුසුම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. ඊට දශකයකට පෙර එල්ටීටීඊය තුරන් කළ ආකාරයෙන්ම ජාතික ආරක්ෂාව යළි ස්ථාපිත කරන බවට පොරොන්දු වුණු ඔහු, විශාල බහුතරයකින් තමාට ජනාධිපති ධුරයට පත්වීමට ඡන්දය ලබාදුන්, ත්‍රස්තවාදයෙන් ත්‍රස්ත වූ ජනතාව තුළ බලාපොරොත්තු සහගත ස්වරයක් අවදි කළේය.

කෙසේ වෙතත්, අනුප්‍රාප්තික ජනාධිපතිවරුන් තිදෙනකු යටතේ, ආණ්ඩු විසින් කරන ලද පරීක්ෂණවලින් පසුව පවා, මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ සත්‍යය හෙළිකර නොමැත. ඒ වෙනුවෙන් මෙතෙක් සිදු කර ඇති හොඳම දේ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. වින්දිතයන්ට නීතිමය සහන සැලසීම සඳහා රජය විසින් නිසි විමර්ශනයක් ආරම්භ නොකිරීම හේතුවෙන්, කතෝලික සභාව සහ තවත් පුරවැසියන් එක්ව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලදී. එහිදී, විමර්ශන වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනකු, තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියා නොකිරීමේ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් වරදකරුවන් කරනු ලැබීය. ඔවුන් සියල්ලන්ටම දඩ නියම වූ අතර, විශේෂයෙන් නිලධාරීන්ට ගෙවීමට අපහසු රුපියල් මිලියන ගණනක දඩ මුදල් පනවා ඇත. එහෙත් බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න අධිකරණය හඳුනාගෙන නැත. එබැවින් සත්‍යය සෙවීමේ කාර්යය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුව ඇත.

පසුගියදා පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදී මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරන ලද්දේ, මෙතෙක් රජය සිදුකර ඇති පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්නොවන අතර, ඒවා පිළිගත නොහැකි බවයි. එතුමන් පැවසුවේ “යුක්තිය පිළිබඳ නිල මාර්ග ඔස්සේ අපට මෙතෙක් සාධාරණයක් ඉටුවී නැත. පාස්කු ප්‍රහාරය, එයට හේතු, ඊට සහභාගි වූවන්, එහි සැලසුම්කරුවන් සහ වෙනත් කිසිදු බලවේගයක් පිළිබඳව, කිසි විටෙක බැරෑරුම්, කැපවූ පරීක්ෂණයක් සිදු කර නොමැත” යනුවෙනි. දැනට මුක්තිය භුක්ති විඳිමින් සිටින නමුත්, ධූරයෙන් ඉවත් වූ පසු, වත්මන් ජනාධිපතිවරයාට එරෙහිවද ඉදිරියේදී එවැනිම පෙත්සමක් අධිකරණයේ ගොනු කරන බවටද ඔහු අනතුරු ඇඟවීය. ජනාධිපතිවරයා සදාකාලිකව එම ධුරය දරන්නේ නැති නමුත් කතෝලික සභාව දිගටම පවතිනු ඇති බවත්, තමාගෙන් පසුව පැමිණෙන පිරිසද ඒ සඳහා කටයුතු කරන බවත් කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන්හ.

● සත්‍ය සෙවීමේ කොමිසම

සත්‍යය නොමැති විට සැකයන් වඩාත් ගැඹුරු වේ. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මෑතකාලීන ප්‍රකාශයන් තුළ, එතුමන් වඩ වඩාත් විවෘතව කතා කර ඇති බව දැකගන්නට තිබේ. කොළඹ පැවති පාස්කු මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව අතරතුර කාදිනල්තුමා පැවසුවේ, “පාස්කු ප්‍රහාරය සිදුවී වසර හතරක්. තවම සාධාරණයක් ඉටුවී නැහැ. තවමත්, සිදුවූයේ කුමක්දැයි කිසිවකු දන්නේ නැහැ. මිනිස්සු නොයෙකුත් දේවල් කියනවා. සත්‍යය සඳහා, යුක්තිය සඳහා අරගල කිරීම වැදගත්. එය ක්‍රිස්තියානි ධර්මයයි”. යුක්තිය ලබා ගැනීම සඳහා පල්ලියේ නොසැලෙන අධිෂ්ඨානය ප්‍රදර්ශනය කිරීමට අමතරව, අපයෝජන විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකි, ඉතා විශාල ප්‍රතිපාදන තිබියදීත්, 1979 සිට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට පාස්කු බෝම්බ ප්‍රහාරය වැළැක්වීමේ හැකියාවක් ලැබී නැත. වත්මන් ආණ්ඩුව මෙම පාඩම නොසලකා හැර, දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වඩාත් නරක විකල්පයක් යෝජනා කරමින් සිටීම ඛේදවාචකයකි.

දශක තුනක සිවිල් යුද්ධය අතරතුර සිදුවූයේ කුමක්ද යන්න සොයා බලා ජාතික සංහිඳියාව ඇති කිරීමට සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවන බවට රජය විසින් කරන ලද නිවේදනය පාස්කු ප්‍රහාරයට අදාළ වන්නේ නැත. ඒ වෙනුවට, සත්‍ය සෙවීමේ කොමිසම සොයා බලනු ඇත්තේ, “ගැටුම යනු 1983 ජූලි 24 හෝ ඊට පසුව ඇති වූ ගැටුම සහ 2009 මැයි 18ට පෙර ඇති වූ ගැටුමයි. මෙය විමුක්ති කොටි සංවිධානයේ බෙදුම්වාදී කැරැල්ලේ කාලයයි. දෙමළ ඊළාම් (එල්ටීටීඊ) සහ අනෙකුත් සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායම් ගරිල්ලා යුද්ධයක් දියත් කළ කාලයයි. කොමිසමේ වරම වනුයේ, පුද්ගලයන්ට හෝ දේපළවලට (ගැටුම්වලදී) සිදුවී ඇතැයි කියන හානිය සහ/හෝ හානි පිළිබඳ අපක්ෂපාතී, සම්පූර්ණ වාර්තාවක් ලබාදෙමින් සත්‍යවාදී, නිවැරැදි ස්ථාවරයක් ඇති කිරීම මගින්, ශ්‍රී ලංකාවේ ජනතාව අතර ජාතික සමගිය, සාමය, නීතියේ ආධිපත්‍යය, සහජීවනය, ඉවසීම සහ විවිධත්වයට ගරු කිරීම සමග සමානාත්මතාව සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීමයි.” යන්න පිලිබඳවය. https://www.sundaytimes. lk/230409/columns/government-gives-priority-tonational-
unity-and-reconciliation-516742.html සත්‍ය කොමිසමෙන් විමර්ශනය කරනු ලබන්නේ ජනවාර්ගික යුද්ධය පැවැති කාලසීමාව පිළිබඳව පමණක්ද, නැතිනම් එම කාල සීමාව තුළ (1987 සහ 1989 අතර) ඇති වූ ජවිපෙ කැරැල්ල ගැනද යන ප්‍රශ්නයද මෙහිදී මතුවේ. ජනවාර්ගික ගැටුමෙන් පිටස්තර වූ ජවිපෙ කැරැල්ලේදීද ඉතා විශාල පිරිසකට ජීවිත අහිමි විය. මෙම සැකය පැනනගින්නේ සත්‍ය කොමිසමේ නියමයන් සැකසීම ප්‍රසිද්ධ ක්‍රියාවලියක් නොවීම සහ රජය සහාය පතන රට වන දකුණු අප්‍රිකාවේ සිදු වූ දෙයට වඩා හාත්පසින්ම වෙනස්ව, ඉතා රහසිගත ක්‍රියාවලියක් ඔස්සේ මෙය සිදුකිරීම නිසාය. දැන් මෙම ක්‍රියාවලිය සමග ඉදිරියට යෑමට තීරණය කර ඇති බව පෙනෙන්නට තිබෙන බැවින්, ඉදිරි දිනවලදී ආණ්ඩුවේ අභිප්‍රාය කුමක්ද යන්න හඳුනාගත හැකිය.

● ජනාධිපතිවරයාගේ ප්‍රතිඥාව

පාස්කු ප්‍රහාරය සහ ඉන් පසුව ඇතිවූ බිඳවැටීම යෝජිත සත්‍ය සෙවීමේ කොමිසමේ වරමෙහි කොටසක් නොවන බව පැහැදිලිය. සත්‍ය සෙවීමේ කොමිසමේ ජනවරම දීර්ඝ වන්නේ යුද්ධයේ අවසන් දිනය වන 2009 මැයි 18 දක්වා පමණි. පාස්කු බෝම්බ ප්‍රහාරය සත්‍ය කොමිසමේ ජනවරමින් බැහැර කිරීම සාධාරණීකරණය කළ හැක්කේ, එය යුද්ධය අවසන් වී දශකයකට පසුව සිදු වූවක්ය යන පදනම මතය. එය ද ඉතා දිගු කාලයක් පුරා පැවති යුද්ධය මෙන් නොව, තනි සිදුවීමක් පමණි. එහෙත් සිදු වූ දෙයෙහි සත්‍යය වසන් කිරීම සහ සැඟවීම දිගින් දිගටම සිදුවන බැවින්, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට සත්‍යය සෙවීමේ කොමිසමක අවශ්‍යතාව නොසලකා හැරිය නොහැකිය. එදා සහ අද දක්වාම පවතින ප්‍රහේලිකාව වන්නේ, ප්‍රහාර සඳහා පෙළඹවීම සහ ඒවා පිටුපස සිටියේ කවුරුන්ද යන්නයි.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සත්‍යය සොයා ගැනීම සහතික කිරීමට ඇති අධිෂ්ඨානයෙහි මූලාරම්භය වූයේ, කිතුනු බැතිමතුන් විකෘති දේශපාලන න්‍යාය පත්‍රයක ගොදුරු කළ බවට ඇති විශ්වාසය විය හැකිය. මළවුන්ට යුක්තිය ඉල්ලා හඬක් නැගිය නොහැකිය. එබැවින් සත්‍යය සෙවීම ජීවත්ව සිටින අයගේ යුතුකමකි. අතීතයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම් විමර්ශනය කිරීම සඳහා, සත්‍යය සෙවීමේ කොමිසම්වලට ලොව පුරා ලබා දී ඇති වැදගත්කමට මෙය එක් හේතුවකි. වගවීම සහ යුක්තිය වෙනුවෙන් එක්ව ක්‍රියා කරන අතරතුර, පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ගේ වගවීම සහතික කළ යුතුව ඇත. එහෙත්, මෙතෙක් ආණ්ඩුවේ නායකයන් ඒ සඳහා එතරම් උනන්දුවක් දක්වා නැත.

ආචාර්ය ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment