පාස්කු ප්‍රහාරය දැන දැනත් පොලිසියට දැනුම් නොදුන් ඉබ්‍රාහිම් ඉස්මයිල්ගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

182

සිය සහෝදරයා ඇතුළු මුස්ලිම් අන්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ලකරන බවට තොරතුරු දැන දැනත් ඒ බව පොලිසියට දැනුම් නොදීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන වසර තුනකට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් ඉබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් නමැත්තා ඇපමත මුදාහරින ලෙසට විත්තිය කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (27 දා) ප්‍රතික්‍ෂේප කළේය.

2019.04.21 වැනිදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ මේ වනවිට මියගොස් සිටින මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් හා මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සහෝදරයකු යැයි කියන පෙරකී විත්තිකරුට එරෙහිව එල්ලවී ඇති චෝදනා අනුව ඇපමත මුදාහැරීම නුසුදුසු බවට නිගමනය කළ විනිසුරුවරයා එම නියෝගය කළේය.

එම නඩුවේ දෙවැනි විත්තිකරු වන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉජාඩ් අහමඩ් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 164(3) සහ 165(3) යන වගන්ති උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළ අතර එම මූලික විරෝධතාවය ලිඛිතව ගොනු කරන ලෙසට නියෝග කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව ලබන 17 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

එම නඩුවේ පළමුවන විත්තිකාර මොහොමඩ් යුෂුෆ් මොහොමඩ් ඉබ්‍රාහිම් හා දෙවන විත්තිකාර මොහොමඩ් ඉබ්‍රාහිම් ඉජාස් අහමඩ් දැඩි ඇප කොන්දේසි පනවා මුදාහැරීමට මින් පෙර අධිකරණය නියෝග කොට තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය පැමිණිල්ල මෙහෙය වූ අතර ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, එක් විත්තිකරුවකු වෙනුවෙනුත් නීතිඥ හෆිල් පාරිස්, නීතිඥ පර්සි මල්දෙණිය යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා දෙවන විත්තිකරු වෙනුවෙනුත් පෙනී සිටියේ ය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment