පාස්කු ප්‍රහාරය පිටුපස සත්‍යය හෙළිකරන්න – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරට බලධාරීන්ගෙන් ඉල්ලති

351

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න  රටට ආශිර්වාද කරනවා

මීට වසර තුනකට පෙර එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය වහා හෙළි කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (25 දා) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එය රටේ සාමය ඇති කිරීමට ඉවහල් වන බවද කී උන්වහන්සේ මෙරට මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකිවේවා යැයි ද එහිදී යාච්ඤාවකට එක්වෙමින් සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරය පිටුපස සත්‍යය හෙළිකරන්න - ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරට බලධාරීන්ගෙන් ඉල්ලති

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් හා දිවි ගලවාගත් වින්දිතයන් ඇතුළු ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් තුන්දහස් පන්සියයක් පමණ අමතමිනි.

මෙහිදී පාප්වහන්සේ සිය දේශනය පවත්වමින් මෙසේ ද කියා සිටියහ.

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ මෙම ඉස්ලාමීය මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාවක් නිසා කතෝලික දේවස්ථාන තුනකට හා සුඛෝපභෝගී හෝටල් තුනකට හානි සිදු වුණා. එම ප්‍රහාරයෙන් විදේශීය ජාතිකයන් හතළිස්පස්දෙනකු ඇතුළු පන්සිය දෙනෙක් තුවාල ලබා දෙසිය හැත්තෑදෙනකු පමණ මියගියා.

මෙම ප්‍රහාරවලින් මීගමුව, ශාන්ත සෙබස්තියන් කතෝලික දේවස්ථානයේ බැතිමතුන් විශාල පිරිසක් ජීවිතක්‍ෂයට පත්වුණා. අනෙක් ප්‍රහාර සිදුවූයේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ නැගෙනහිර මඩකලපුව සියොන් දේවස්ථානයේයි.

ඒ නිසා යුක්තිය ඉටුකිරීම සඳහා මෙම සිදුවීම්වලට වගකිවයුතු පාර්ශ්ව පිළිබඳ වරක් හෙළි කරන ලෙස උන්වහන්සේ ආදරයෙන් හා කරුණාවෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළහ.

මෙම ප්‍රහාරයට ලක්වූ අය වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා දැඩිව ඉල්ලා සිටින බැවින් මෙහි මහ මොළකරු හෙළි කළ යුතු බවද ශුද්ධ වූ පාප්වහන්සේ සඳහන් කළහ.

මෙම ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්වය සම්බන්ධව සිදුවන විමර්ශන වසන් කරන බවට කාදිනල්තුමා චෝදනා කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා විසින් ඊයේ (25 දා) පවත්වන ලද විශේෂ දිව්‍ය පූජාවක් අවසානයේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස අමතමින් ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙම කරුණු සඳහන් කළහ.

මීට වසර තුනකට පෙර එල්ල වූ පාස්කු ප්‍රහාරය සැමරීම සඳහා මෙම විශේෂ දිව්‍ය පූජාව පවත්වා ඇත.

ශ්‍රී ලංකාව තුළ භීෂණය වැපිරුවා. එම බිහිසුණු ප්‍රහාරයට ලක්වූ පිරිස වෙනුවෙන් යාච්ඤා මෙහෙය සංවිධානය කළා. මගේ මුළු හදවතින්ම ඔබ සමඟ එක්ව මෙම ප්‍රහාරයට ලක්ව මියගිය හා තුවාල ලැබූවන් ඇතුළු වින්දිතයන්ට යාච්ඤා කරන බවද උන්වහන්සේ එහිදී කියා සිටියහ.

නෝමන් පලිහවඩන, ශිරාන් රණසිංහ, ඒමන්ති මාරඹේ, ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment