පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් එස්ඩීඅයිජී නිලන්තට පොලිසියේ ඉහළම නිලය දීමේ උත්සාහය හෙළා දකිනවා

256

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම තනතුර පිරිනැමීමට ඇතැමුන් දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (9 දා) සඳහන් කළේය.

මෙහිලා කාදිනල්තුමාගේ ප්‍රතිචාරය ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පහත කරුණු ද එහි සඳහන් විය.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ පළමු බෝම්බය පුපුරා යන්නේ 2019 අප්‍රේල් 21 දින පෙ.ව. 8.45 ටයි. එදිනම පෙ.ව. 8.27 ට එවකට රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා වූ නිලන්ත ජයවර්ධන මහත්මාට පළමු තොරතුරු ලබාදුන් ඉන්දීය බුද්ධි අංශ සගයාගෙන් තවත් තොරතුරක් ලැබෙනවා. එයින් කියැවෙන්නේ ‘ඔවුන් (ප්‍රහාරකයන්) ක්‍රියාත්මක වීමට ඉඩ ඇත්තේ අද දින (අප්‍රේල් 21) පැය 6.00 සහ පැය 10.00 අතර කාලය තුළයි’ ඒ මොහොතේ ඔහු අවශ්‍ය පියවර ගත්තා නම්, අඩු වශයෙන් දේවස්ථානවලට අවශ්‍ය ආරක්‍ෂාව සැපයුවා නම් අහිංසක මිනිසුන් 270 කගේ පමණ වටිනා ජීවිත ආරක්‍ෂා කර ගන්නට තිබුණි.

නිලන්ත ජයවර්ධන විසින් තම පරිගණකයේ තිබූ රාජ්‍ය ආරක්‍ෂාවට මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සියලු දත්ත මකා දැමුවේ යැයි පිළිගත් බව පැහැදිලිව වාර්තාවී තිබෙනවා.

මේ සියලු සාක්‍ෂි විමර්ශනය කිරීමෙන් අනතුරුව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මාට එරෙහිව නිර්දේශයන් ඉදිරිපත් කරනවා.

‘සාක්‍ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ (නිලන්ත ජයවර්ධනගේ) පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අදහසයි’

‘එස්. ඩී. අයි. ජී. නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්‍ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.

මේ ආකාරයේ බරපතළ චෝදනාවන් සහ නිර්දේශයන් තිබියදී රජයේ වගකීම විය යුත්තේ අඩු වශයෙන් විනය පරීක්‍ෂණයන් සිදු කිරීමයි. ඒ වෙනුවට එදා රජය කළේ මහනුවර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔහුට උසස් තනතුරක් ලබාදීමයි. ඊටත් එහාට ගිහින් ඔවුහු පොලිස්පති පූජිත ජයසුන්දර සහ ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරු බවට නීතිපතිවරයා නිලන්ත ජයවර්ධනව පත් කරනවා.

අහිංසක මිනිසුන් 270 කගේ පමණ ජීවිතවලට ඔහුත් වගකිවයුතු බව පැහැදිලි කරුණක් සේ තිබියදී ඔහුට නීති මාර්ගයෙන් කටයුතු නොකර ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා බවට පත් කරන්නට දරන උත්සාහය අපි දැඩි ලෙස හෙළා දකිනවා.

මෙය ශ්‍රී ලංකා පොලිසියට කරන නිග්‍රහයක්. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගය කරන ජනතාවට ද්‍රෝහි වීමක්. විශේෂයෙන්ම මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියැදුන අහිංසක ජනතාවට වගේම අදටත් වේදනාවෙන් පසුවන ඔවුන්ගේ ඥාතීන්ට කරන දැඩි අසාධාරණයක්, අපහාසයක් සහ නිග්‍රහයක්. විශේෂයෙන්ම කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාවට කරන අවමානයක්.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment