පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම: මෛත්‍රී – හේමසිරි – පූජිත් – නිලන්ත – සිසිර වරදකරුවෝ

419

මිලියන 100 මෛත්‍රිට මිලියන 75 බැගින්
පූජිත්ට හා නිලන්තට මිලියන 50ක් හේමසිරිට මිලියන 10ක්
සිසිරට වන්දි ගෙවන්නත් නියම වේ

වන්දි ගෙවන හැටි උසාවියට කියන්න නියෝග

පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (12 දා) ඒකමතිකව නිගමනය කළහ.

රටේ විධායක ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඔහුට පැවරී ඇති ව්‍යවස්ථාපිත හා රාජකාරි වගකීම් ඉටුකිරීම පැහැර හැර ඇති බවටත් සෙසු වගඋත්තරකරුවන් ද වෙන් වෙන්ව ඔවුන් වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් නිසි ලෙස ඉටුකිරීම පැහැර හැර ඇති බවටත් විනිසුරු මඩුල්ල නිගමනය කළහ. ඒ අනුව පාස්කු ප්‍රහාරවල වින්දිතයන්ට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙසට මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝග කළ විනිසුරු මඩුල්ල රුපියල් මිලියන 75 බැගින් වූ වන්දි ගෙවන ලෙසට පූජිත් ජයසුන්දර හා නිලන්ත ජයවර්ධන යන විත්තිකරුවන්ට නියෝග කළහ. එයට අමතරව රුපියල් මිලියන 50 ක වන්දියක් ගෙවන ලෙසට හේමසිරි ප්‍රනාන්දු මහතාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙසට ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට නියෝග කළහ.

එකී වන්දි මුදල්වලට අමතරව මියගිය එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 බැගින් ද, බරපතළ තුවාල ලැබූ එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ පහ බැගින්ද රජයෙන් වින්දිතයන්ට ගෙවීමටද වහාම පියවර ගන්නා ලෙසටද රජයට නියම කළ විනිසුරු මඬුල්ල එම වන්දි ගෙවීමේ ක්‍රියාදාමය වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කළහ. සියලු වින්දිතයන්ට මාස හයක කාලයක් ඇතුළත තම අධිකරණය නියම කළ වන්දි මුදල් ගෙවීමට ද එහිදී රජයට නියම කළ විනිසුරු මඬුල්ල පාස්කු ප්‍රහාරවලින් මියගිය අයට මේ වන විට ගෙවා ඇති වන්දි මුදල් පිළිබඳ වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසටද නීතිපතිවරයාට නියෝග කළහ. වගඋත්තරකරුවන් සියලු දෙනාගෙන් හා රජයෙන් ලැබෙන මුදල් අරමුදලකට එක්කර එකී වන්දි ගෙවීමේ ක්‍රියාදාමය සකස් කරන ලෙසටද විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කළහ. තමන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු නිසි ආරක්‍ෂක අංශ වෙත ලබාදීමට එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන අපොහොසත්වී ඇති බව ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව පැහැදිලි වන බැවින් වහාම ඔහුට එරෙහිව විනය පියවර ගන්නා ලෙසටද විනිසුරු මඬුල්ල පොලිස්පතිවරයාට නියෝග කළහ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් තම අධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ මගින් සත්‍ය අනාවරණය කර නොමැති බව තම අධිකරණයට පෙනී යන්නේ යැයිද පිටු 124 ක තීන්දුව පුරා පැයකුත් විනාඩි 20 ක කාලයක් වැයකරමින් ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙන්වා දුන්නේය.

මොහොමඩ් හෂීම් මොහොමඩ් සහරාන් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාද් නමැති මුස්ලිම් අන්තවාදී සංවිධානය කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය, ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන හා හෝටල් ඇතුළු ආර්ථික මර්මස්ථාන ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට නිසි පියවර නොගත් හා ඒවා වළක්වා ගැනීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝග කළහ. සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු කතෝලික පියතුමන්ලා සහ ප්‍රහාරවලින් විපතට පත් පිරිසකගේ ඥාතීන් පිරිසක් ගොනුකර එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මූර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන සත්පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී පුරා වසර දෙකකට ආසන්න කාලයක් විභාගයට ගැනීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝබර් 5 වැනිදා විභාගය අවසන් කොට තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ සියලු දෙනා, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු 50 දෙනකුට ආසන්න පිරිසක් එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කොට තිබිණි. එසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව රටේ විධායක ජනාධිපතිවරයාට එරෙහිව නඩුකරයක් පවත්වා ගෙන යෑමේ නීතිමය ඉඩකඩක් නොමැති බව පෙන්වා දෙමින් නීතිඥ සුරේන් ප්‍රනාන්දු හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඬුල්ල රනිල් වික්‍රමසිංහ මහතාගේ නම වගඋත්තරකාර ලේඛනයෙන් ඉවත් කිරීමට පසුගිය සැප්තැම්බර් 26 වැනිදා නියෝග කොට තිබිණි.

එම සත්පුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් ලෙස කටයුතු කළ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන හා ගාමිණී අමරසේකර යන මහත්වරුන් නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පෞද්ගලික හේතූන් මත ඉවත්වී තිබිණි. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ ෂැංග්‍රිලා හෝටලය, කිංස්බරි හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ඇතුළු ස්ථාන අටකට එල්ලවූ එම මරාගෙන මැරන ප්‍රහාරවලින් විදේශීය ජාතිකයන් ඇතුළු 269 දෙනකු මියගොස් තවත් 500 කට ආසන්න පිරිසක් බරපතළ තුවාල ලබා තිබිණි.

නීතිඥ ඉන්දික අබේකෝන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා අගරදගුරු හිමියන් වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ දර්ශන වේරදුවගේ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා හා ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment