පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම: මෛත්‍රිගේ ඉරණම විසඳෙන තීන්දුව 12 දා

245

මොහොමඩ් සහරාන් හෂීම් ප්‍රමුඛ තවුහිද් ජමාත් නමැති මුස්ලිම් අන්තවාදී සංවිධානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන සහ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබිය දී 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ එම ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ දේශපාලන බලධාරීන්ට හා හිටපු පොලිස්පතිවරයා ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානින්ට එරෙහිව නීතීමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දහතුන සම්බන්ධයෙන් තීන්දුව ලබන 12 වැනිදා පෙරවරුවේ නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ කතෝලික පූජකවරුන් හා ජගත් විදානගේ සමන් නන්දන සිරිමාන්න ඇතුළු වින්දිතයන් පිරිසකගේ ඥාතීන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ඒ. එච්. එම්. ඩී. නවාස්, එල්. ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේයිරාජා ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දී පුරා වසර දෙකකට ආසන්න කාලයක් විභාගයට ගැනීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝබර් 05 වැනිදා විභාග කටයුතු අවසන් කර තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා එවකට පැවැති කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සියලු දෙනාත්, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පනස්දෙනකුට ආසන්න පිරිසක් එම පෙත්සම්වල වගඋත්කරකරුවන් ලෙස නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment