පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගත් අය අපේ රජයෙනුත් ආරක්‍ෂා කරනවා දැයි සැකයි

233

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත

 පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පිරිස් අපේ රජයත් ආරක්‍ෂා කරනවා දැයි රජය නියෝජනය කරන ඇමැතිවරයකු හැටියට වගේම කතෝලිකයකු හැටියටත් මටත් සැකයක් තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවැසීය.

 පෙරේදා (5 දා) පැවැති උත්සවයකට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ කියා සිටියේය. රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මෙසේද කීය.

 අපේ කාදිනල්තුමන් කොන්ද පණ තිබෙන නායකයෙක්. කතෝලිකයෙක් හැටියට මාත් බොහොම ආදරය කරන චරිතයක්. පාස්කු ප‍්‍රහාරයේ තොරතුරු වසන් කළ බව කියන චෝදනාවට සහ ඒ ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ අය අපේ රජයෙනුත් ආරක්‍ෂා කරනවාදැයි රජය නියෝජනය කරන ඇමැතිවරයකු සහ කතෝලිකයකු හැටියට මටත් සැකයක් තිබෙනවා.

 පාස්කු ප‍්‍රහාරය පිළිබඳ තොරතුරු වසන් කරමින් ජනතාව ආරක්‍ෂා නොකළ බවට චෝදනා කරන හිටපු පොලිස්පති සහ හිටපු ආරක්‍ෂක ලේකම් අද ඉන්නේ හිරගෙදර නම් ඔය කාලයේ හිටපු ජනාධිපතිවරයාට මුක්තිය කියා එකකුත් තිබුණේ නැත්නම් ඔය කියන කාලයේ ආරක්‍ෂක කණ්ඩායම අස්සේ එදා හිටපු ජනාධිපතිවරයාගෙන් කටඋත්තරයක් ගන්නේ නැත්නම් රජය පැත්තෙන් ඔවුන් ආරක්‍ෂා කරනවාද කියලා කතෝලිකයකු හැටියට මගේ හෘද සාක්‍ෂියත් කතා කරනවා.

 මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් –

 ඇමැතිතුමා පාස්කු ප‍්‍රහාරය ගැන කතා කළාට ස්තූතියි. ඇමැතිතුමාගේ ධෛර්යවන්ත වචනයට අපි ස්තූති කරනවා. අපි ඉල්ලන්නේ කරන්න බැරි දේවල් නොවෙයි. මේ හානිය කරපු අය අන්තවාදීන් ඒ සංවිධානවලට බැඳිලා ඒ කි‍්‍රයාව කරවපු අයට දඬුවම් දෙන්න කියලයි.

advertistmentadvertistment
advertistmentadvertistment